April 28, 2024

19 යේ සංශෝධනයට කැබිනට් අනුමැතිය / ජනපති බලතල ටිකක් අඩු වේ

19 වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.  අද (15)  පස්වරුවේ රැස් වු කැබිනට් මණ්ඩලයේදී අදාළ අනුමැතිය හිමි වූ බව වාර්තා වෙයි.

අද රැස්වු පක්ෂ නායක රැස්විමේදි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එකඟතා රැසකට පැමිණි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව අදාළ යෝජනාවලට අද පස්වරුවේ රැස්වු කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි.

ඒ අනුව විධායක ජනපති ක්‍රමයේ බලතල ටිකක් කප්පාදු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද (15) රාත්‍රී නිකුත් කිරීමටද නියමිතය. මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනිණි.

එම ගැසට් නිවේදනය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද නියමිතය. හ් අනුව එය හදිසි පනතක් ලෙස ඉදිරිපත් නොකෙරෙනු ඇත.

නව සංශෝධන අනුව පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිට අහිමි වේ.  වසර 4ක් යනතුරු පාර්ලිමේන්තුව විසිර විය නොහැකිය. දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද ඉඩ නොලැබේ. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමටද නියමිතය.

කෙසේවෙතත් ජනපතිට සේනාධිනායකයා, අමැති මණ්ඩලයේ ප්‍රධානියා, ඇමැති මණ්ඩලය පත් කිරීමට දැනට පවතින බලය එලෙසම පවතී.

ඡන්ද ක්‍රමය පිළිබඳ සංශෝධන ගැන අවසන් තීරණය අඟහරුවාදා ලබාදීමටද තීරණය වී ඇත.

පාර්ලිමේන්තුව විසිරැවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කෙරෙන අතර ඔහුගේ රාජකාරි සමයේ සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තියද ඉවත් කෙරෙනු ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය.

 

 

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 16 March 2015 09:41