May 02, 2024

පොලිස් ස්ථානාධිපතිවරුන් 08කට ස්ථානමාරු 

සේවා අවශ්‍යතාවට මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 08 දෙනෙකුට පොලිස්පතිවරයා විසින් ස්ථානමාරු ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව නාරාහේන්පිට, වැල්ලවත්ත, වැල්ලම්පිටිය, ත්‍රිකුණාමලය, රාගම, පොතුහැර, කැලණිය හා කෑගල්ල යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්  මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඞී.කේ.එන්. පෙරේරා මහතා නුවරඑළිය කොට්ඨාසය වෙතද, වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එම්.පී.යූ.ඞී. ගුණතිලක මහතා නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙත මාරුකර ඇත. 

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඕ.පී. අමරබන්දු මහතා කොළඹ දිසාවට මාරුකර යවා ඇති අතර ති‍්‍රකුණාමලය කොට්ඨාසය භාරව සිටි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඞී.ආර්.එස්. ධර්මදාස මහතා වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කර තිබේ.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක යූ.ඒ. කොඩිකාර මහතා රාගම සිට කෑගල්ල කොට්ඨාසයටත්, පොලිස් පරීක්ෂක ජේ.ඒ.එස්. කි‍්‍රශාන්ත මහතා පොතුහැර පොලිස් ස්ථානයේ සිට සූරියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යවා ඇති බව පොලීසිය පැවසී ය.

කැලණිය කොට්ඨාසය භාරව කටයුතු කළ පොලිස් පරීක්ෂක ඒ.ඒ.එන්.පී. අධිකාරී මහතා පොතුහැර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස පත්කර ඇති අතර කෑගල්ල කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරික්ෂක එස්.එම්.එන්.සී. විජේසේකර මහතා පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසී ය.

 

Rate this item
(0 votes)