May 01, 2024

13ට එහා ගිය විසදුමකට යන්නැයි ඉන්දීය අගමැති කියයි 

දෙරට අතර 28 වසරකට පසු ද්වි පාර්ශ්වික ගිවිසුම් හතරක් අත්සන් කිරීම ඓතිහාසික සිද්ධියක් බවත් ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය හා ඉන් ඔබ්බට ද යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඉන්දීය අගමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී හමුදා ආචාර පෙළපාළියක් පවත්වා පිළිගත් අතර පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දීය රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සහ ශ‍්‍රී ලංකා රජයේ බලධාරින් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි.

ඉන් අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථමයෙන්ම කතා කරමින් පැවසුවේ බුද්ධ ධර්මයෙන් හා හින්දු ධර්මයෙන් දෙරටම බැඳී සිටින බවයි.

පසුව කතා කරමින් ඉන්දීය අගමැතිවරයා මේ බව පැවසීය. ‘ශ්‍රී ලංකාව අපේ සමීපතම මිතුරෙකි. බුදු දහමේ ආභාෂය අප දෙරටටම හිමි වී තිබේ. ත්‍රිකුණාමලය මෙම කලාපයේ ඉන්ධන කේන්ද්‍රය බවට පත් කිරීමට ඉන්දියාව කැමතියි. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග සංවර්ධනයට අමෙරිකානු ඩොලර් 38 කෝටියක ණය ආධාර සැපයීමට ද ඉන්දියාව බලාපොරොත්තු වේ.‘

ශ්‍රී ලංකා නව රජය එහි සියලු වැසියන් එකමුතුකර සමගියෙන් නව ගමනක් ඇරැඹීම ගැන ඉන්දියාව බෙහෙවින් සතුටු වන බවත්, ඒ ගමන සාර්ථක කර ගැනීම සඳහා හැම උදව්වක්ම ලබා දෙන බවත් දෙමළ ජනයා ඇතුළු සියලු ජාතීන් හට සමගියෙන් සමානාත්මතාවයෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් සාර්ථක කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන බවත් ඉන්දියා අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)