May 10, 2024

මෛත්‍රී ජනපති වෙන බව 2006දී දැන ගත්තා - සුමනදාස    

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනපතිවෙන බවට තමන් 2006 වසරේදී තමන් දැනගෙන සිටි බවත් ඒ පිළිබඳව ප්‍රකාශ කළ බවත් ජ්‍යෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (12) රාත්‍රී ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහනට එක්වෙමිනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනි දා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ දවසේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව සැක මතුවූ බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් පමණ අනාගතය පිළිබඳව තමන් හා සාකච්ඡා කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කේන්දරය බැලුවේ 2006 අවුරුද්දේ එතුමා මගේ ගෙදරට ඇවිල්ලා. එතුමා හැමදාම කේන්දර බලන්න එන කෙනෙක් නෙමෙයි. එතුමා මගේ හොඳ ගෞරවනීය මිත්‍රයෙක් අද හුඟ දෙනෙක් මාධ්‍යයෙන් කියනවා මම එතුමා රාජ්‍ය නායකයා වෙනවා කියලා. මම ප්‍රසිද්ධියේ එතුමා ගාවට ගිය කෙනෙක් 2006 අවුරුද්දේ. මෙතන ජනාධිපතිතුමාගේ කේන්දරයට වඩා මෛත්‍රීපාල මහත්තයගේ කේන්දරය බලගතුයි.“ යැයි හෙතෙම සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති සටනට එක්වීමට මත්තෙන් වසරකට වතාවක් පමණ තමන් හමුවීමට පැමිණි බව ද සුමනදාස අබේගුණවර්ධන මහතා පැවසී ය.

ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසුව තමන්ට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකෂ මහතා අඩම්තේට්ටම් කළ බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

2009 වසරේදී අරලියගහ මන්දිරයට ගිය පසු තමන් අවසන්වරට අරලිය ගහ මන්දිරයට ගියේ 2014 වසරේ දෙසැම්බර් මාසයේදී බවද ඔහු පැවසීය.

තමන් ඉදිරියට දේශපාලන මත ප්‍රකාශ නොකරන බවත් තමන් දිවියේ සැදෑ සමය ගත කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)