May 04, 2024

මහින්ද රජයට ණය දෙන්න එපා අපි ආවම ගෙවන්නේ නැහැ කියලා කලින් කිව්වා

රටට පාඩු සිදුවන සහ රටේ විශාල ධනස්කන්දයක් විදේශිකයන් අතට යන කිසිදු ව්‍යාපෘතියකට වත්මන් රජයෙන් ඉඩ ලබා නොදෙන බවත් එවැනි ව්‍යාපෘතිවලට ණය දීපූ අය එම පාඩු විඳගත යුතු බවත් 2010 සිට එජාපය පැවසූ බව සමාජ සේවා සුභසාධන හා පසු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.

හෙතෙම වැඩි දුරටත් පැවසූවේ වසර 2010 දී බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් HSBC බැංකුවෙන් මිලියන ගණනක ණය මුදලක් ලබා ගැනීමට සැරසෙද්දී වත්මන් අගමැති ප්‍රමුඛ එජාපය එදා එම බැංකු මූලස්ථානය ඉදිරියේ විශාල උද්ඝෝෂණයක් පවත්වා සඳහන් කළේ එම ණය මුදල දුන්නොතින් ඉදිරියේදී එන එජාප රජය යටතේ නොගෙවන බව පවසා තිබූ බවත් ය.

ඒ අනුව එදා HSBC බැංකුවෙන් එම අති දැවැන්ත ණය මුදල පැවැති රජයට දීම අත්හිටවූ නමුත්, පසුව මහින්ද රජය වෙනත් මාර්ග ඔස්සේ රටට අහිතකර ණය මුදල් ලබා ගෙන ඇති බවත් පෙන්වා දෙයි.

එවැනි එක් ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පෙන්වා දිය හැකි බවත් එහි පවතින රටට අහිතකර ගිවිසුම් රටට හා රටේ ආර්ථිකයට හිතකර අන්දමින් වෙනස් කළ හැකි දැයි වත්මන් රජය සොයමින් සිටින බවත් සඳහන් කළේය.

එතෙක්  එකී සමාගම්වලට සිදුවන පාඩූ සහ අපහසුතා වෙනුවෙන් වත්මන් රජයට ඇඟිලි දිගුකරන්නට නොහැකි බවයි සමාජසේවා සුභසාධන හා පසු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඒෂියන් මිරර් කළ විමසීමකදී සඳහන් කළේ.

 

Rate this item
(0 votes)