May 04, 2024

විදුලිබල මණ්ඩලයේ කෝටි 7ක වංචාවක් හෙළිවෙයි

ලංකා විදුලිබල මණ්ඩල සේවක අර්ථසාධක අරමුදල හා විශ්‍රාම වැටුප් අරමුදලේ මුදල් මුල්‍ය ආයතනයක තැන්පත් කිරීමේ දී රුපියල් හත්කෝටි හැට එක් ලක්ෂ හතලිස් හය දහස් පන්සිය පනස් අටක්  වංචා කර ඇතැයි කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

විදුලිබල සේවකයින්ගේ වසර හතක සේවක අර්ථසාධක අරමුදල හා විශ්‍රාම වැටුප් අරමුදල් ලීසිං සමාගමක ආයෝජනය කිරීමේ දී මෙම වංචාව සිදුකර ඇති බවත්, රුපියල් තුන්සිය හතළිස් අට කෝටියක් ආයෝජනය කිරීමේ දී මූල්‍ය ආයතන හා සම්බන්ධ වූ නියෝජිත ආයතන දෙකක් හරහා කොමිස් මුදල් ලෙස මෙම අට කෝටියට ආසන්න මුදල වංචා කර ඇති බවත් අපරාධ කොට්ඨාසය කරුණු වාර්තා කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අපරාධ කොට්ඨාසය මෙම කරුණු අනාවරණය කළේය. 

2008 වර්ෂයේ සිට මේ මූල්‍ය වංචාව සිදුවී ඇති බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක වයි. පී. කහටගහවත්ත මහතා මහේස්ත්‍රාත්වරිය හමුවේ පැවැසීය.

විෂයභාර ලිපිකරු ප්‍රකාශයක් ලබා දෙමින් 2008 වසරේ සිට මෙම මුදල් අදාළ ලීසිං සමාගමේ ආයෝජනය කරන බවත් තැන්පතු සහතික 10ක රුපියල් තුන්සිය හතළිස් අටකෝටි හැට එක් ලක්ෂ හතළිස් තුන්දහස් අනු හතරක් ස්ථිර තැන්පතු ලෙස මේ දක්වා තැන්පත් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

කරුණු සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විමර්ශනවල ප්‍රගතිය අප්‍රියෙල් 30 වැනි දාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 March 2015 07:18