May 06, 2024

දියත උයනේ වාහන නැවතීමේ ගාස්තු අය කිරීම අත්හිටුවයි

බත්තරමුල්ල, දියත උයනේ රථවාහන නතර කිරීමේදී ගාස්තු අය කිරීම  අත්හිටුවීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය පවසයි.

කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීම සහ නගරයේ සුන්දරත්වය නැංවීම සඳහා ඉදිකල බත්තරමුල්ල දියත උයන වාණිජ පරිශ‍්‍රයේ වාහන නැවතීම සඳහා මුදල් අය කිරීමට ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මීට පෙර ගෙන තිබූ තීරණය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවීමට නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා මැදිහත්වීමෙන් තීරණය කර ඇත. 

මීට පෙර ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව අධ්‍යක්‍ෂක මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම උද්‍යාන නඩත්තු කටයුතු වෙනුවෙන් වාහන නැවතුම් ගාස්තු ලෙස මෝටර් රථයක් සඳහා රුපියල් 50ක සිට යතුරු පැදියක් සඳහා රුපියල් 20 දක්වා ගාස්තුවක් අය කිරීමට තීරණය කර තිබිණි.

දියත උද්‍යානය ආශ‍්‍රිත වෙළඳ කුටි 164 ක් පවත්වාගෙන යන අතර මෙම රථවාහන නැවතුම් ගාස්තුව නිසා වෙළඳුන් මෙන්ම පාරිභෝගික ජනතාව ද ගැටලූ රැසකට මුහුණ දෙන බව ජනමාධ්‍ය ඇතුළු විවිධ කණ්ඩායම් අමාත්‍යවරයාට පැමිණිලි කර තිබිණි. 

කෙසේ වෙතත් ඒ සඳහා පාරිභෝගිකයන් සහ වෙළඳුන් හට පීඩාවක් අත් නොවන පරිදි වෙළඳ පුවරු ප‍්‍රදර්ශනය හෝ වෙනත් විකල්ප වැඩපිළිවෙලක් ඔස්සේ එම මුදල උපයා ගැනීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 16:31