May 22, 2024

ජවිපෙ නායක ‘අනුර කුමාරට’එරෙහිවත් රහස් පොලිසියට පැමිණිල්ලක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ පාර්ලිමේන්තුව හෑල්ලුවට සහ අපහාසයට ලක් කරන ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්. අනුර කුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 14 වැනිදා මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකදී එම ප්‍රකාශය කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.

එම ප්‍රකාශය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලපන්ති ලුතිනන්වරයකු වූ (විශ්‍රාමික) ශාන්ත ජයතිලක යන අය විසින් පැමිණිල්ල සිදුකර තිබේ.

ඔහු කර ඇති පැමිණිල්ලට අනුව පසුගිය පෙබරවාරි 14 වැනිදා මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී 'බලපෙරළිය හා ජනතා අභියෝග' නමින් සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ඇවන්ගාඩ් අයිතිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය මඟින් තහනම් කළ පසු එය නැවත ලබාදීමට අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සහ අගමැති උපදේශක තිලක් මාරපන මහතා මැදිහත් වූ බව යනුවෙනි.

ඒ අනුව ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ හිමිකරු වූ නිශ්ශංක සේනාධිපති මහතාගේ තහනම් කළ විදෙස් ගමන් බලපත්‍රය මහේස්ත්‍රාත්වරයා මුදා හැර ඇත්තේ විජේදාස රාජපක්ෂ මහතා සහ තිලක් මාරපන මහතාගේ බලපෑම මත බවට අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයෙන් ඒත්තු ගැන්වෙන බව එම පැමිණිල්ල කළ අය කියා සිටියි.

තවද මහේස්ත්‍රාත්වරයාගේ එම තීන්දුව මේ ප්‍රකාශය තුළින් බරපතළ ලෙස හෑල්ලුවට ලක් වෙන බැවින් එය මෙරට සමස්ත අධිකරණ පද්ධතියම හෑල්ලුවට සහ අපහාසයට ලක් කිරීමක් බවද කියැවේ. අනුර කුමාර දිසානායක මහතාගේ මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය ස්වාධීන නැතැයි මතවාද ගෙන යන කොටි ඩයස්පෝරා‍ව සහ වෙනත් ජාත්‍යන්තර බලවේගවලට රුකුලක් වන බවද පැමිණිලිකරු සඳහන් කර සිටි.

මෙරට පුරවැසියකු මෙන්ම ත්‍රස්තවාදය විනාශ කර මෙරටට සාමය ගෙන ඒමට කැපවී ආබාධිත වූ රණවිරුවකු වශයෙන් තමාට අයිතියක් ඇති බැවින් මෙම පැමිණිල්ල කරන බවද පැමිණිලිකරු පවසයි.

Rate this item
(0 votes)