ශ්රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේවනවිට සිංගප්පූරුවට ගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස සිංගප්පූරුව ගොස් ඇති මහ බැංකු අධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන දිනයක් ද නිශ්චිතව ප්‍රකාශ වී නොමැත. අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු පුරවැසිභාවයද හිමි පුද්ගලයෙකි.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියමයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කළේය.
පසුගියදා මහ බැංකුව විසින් සිය බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයක් මීට මුල්වී තිබිණි.
මේ පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා පළ වූ අතර එම වාර්තා සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් ජනපති ලේකම්වරයාට මේ ගැන සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලෙස උපදෙස් දී ඇත.
පසුගියදා මහ බැංකුව නිකුත් කළ 30 අවුරුදු භාණ්ඩාගාර වෙන්දේසියේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාට සම්බන්ධ සමාගම අක‍්‍රමිකතාවක් සිදුකර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමටද තීරණය කර ඇත.
රුපියල් බිලියනයක ණය මුදලක් ලබාගැනීම සඳහා මෙම භාණ්ඩාගාර වෙන්දේසිය සිදුකළ අතර වසර 30 කින් කල් පිරෙන 9.35% සිට 9.75% දක්වා වන පොලියක් සමග ආපසු ගෙවන කොන්දේසියක් මත එම ණය මුදල ලබාගන්නා බව මහ බැංකුව මුලින් ප‍්‍රකාශ කර තිබිණි.
මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ සමාගම විසින් ඉහළ පොලී අනුපාතිකයක් අදාළ බැදුම්කර සඳහා ඉදිරිපත් කර තිබූ අතර මහ බැංකුව අදාළ ණය ප‍්‍රමාණය බිලියන 10 දක්වා වැඩිකළ බවට චෝදනා එල්ලවී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට අර්ජුන් මහේන්ද්‍රන් මහතා පසුගිය ජනවාරි 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැතිව සිටි 2002 - 2004 අවධියේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.