May 19, 2024

ෆොන්සේකාගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි  

හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කිරීමේ අතුරු නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය විසින් අද (09) ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම නඩුව විභාග කර අවසන් වනතුරු ජයන්ත කැටගොඩගේ මන්ත‍්‍රීධුරය තාවකාලිකව අත්හිටුවන ලෙස අතුරු තහනම් නියෝගයක් මෙම පෙත්සමෙන් ඉල්ලා සිටි නමුත්, එය අද අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කළේය.

අදාළ නියෝගය නිකුත් කළ හැක්කේ පූර්ණ නඩු විභාගයකින් අනතුරුව පමණක් බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ විනිසුරු එච්.සි.ජේ.මඩවල මහත්මිය සඳහන් කළේය.

යුධ අධිකරණය මගින් තමා වැරදිකරුවෙකු කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වු බවත් ඒ වෙනුවට ජයන්ත කැටගොඩ මහතා පත්කෙරුණු අතර ජනාධිපතිවරයා විසින්  දඬුවම් ඉවත් කර තමා සියලු චෝදනා වලින් නිදහස් කළ බැවින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි තමන්ට හිමිවිය යුතු බව සරත් ෆොන්සේකා මහතා සිය පෙත්සම මගින් සඳහන් කර තිබේ. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අහෝසි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව පමණක්  බැවින් ෆොන්සේකා මහතාගේ ඉල්ලීම පදනම් විරහිත බව ජයන්ත කැටගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥයින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව පෙත්සම පිළිබඳ නඩු විභාගය මැයි මස 12 වැනිදා සිදුකිරීමට නියමිතය.

Rate this item
(0 votes)