May 19, 2024

ශ්‍රීලංනිප මන්ත්‍රීවරු පිරිසක් එජාපයෙන් මැතිවරණයට - අකිල විරාජ් කියයි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව එජාපයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ අද(09) සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දීය.

ශ්‍රීලනිපයේ ප්‍රගතිශීලී දේශපාලනඥයන් කිහිප දෙනකුම තමන්ට නාමයෝජනා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බවත් ඔවුන්ට අවස්ථාව දෙන අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්, උගත් බුද්ධිමත් නවකයන් සහ කාන්තාවන් ඇතුළු ශක්තිමත් කණ්ඩායමක් මැතිවරණය ඉදිරිපත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මැතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවා මහ මැතිවරණ කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් නායකයන් සාකච්ඡා කළ ද, ජනතාවට පොරොන්දු වූ පරිදි දින සියයෙන් පසු මහ මැතිවරණයක් පැවැත්විය යුතුය යන්න එජාපයේ ස්ථාවරය යැයි අමාත්‍යවරයා පැවසී ය.

ඉදිරි මහ මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු බවට කැබිනට් අනුමැතියක් ලැබී නොමැති බවත් මැතිවරණ ක්‍රමය කඩිනමින් වෙනස් කිරීම ගැන සාකච්ඡා කළ බවත් ඔහු අවධාරණය කළේය.

ඊළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමයක් යටතේ ද යන්න ගැන සුළු ජාතික පක්ෂ සමඟ ද සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බව ද   එජාපය ජයග්‍රහණය කර සෙසු පක්ෂ සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)