May 19, 2024

මහ බැංකු අධිපති බෑණාගේ සමාගමේ ගනුදෙනුව ගැන සෙවීමට ජනපතිගෙන් කමිටුවක්

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියමයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

පසුගියදා මහ බැංකුව විසින් සිය බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන ක්‍රමිකතාවයක් ‍මීට මුල්වී ඇත.

මේ පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා පළ වූ අතර ‍එම වාර්තා සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් ජනපති ලේකම්වරයාට මේ ගැන සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලෙස උපදෙස් දී ඇත.

පසුගියදා මහ බැංකුව නිකුත් කළ 30 අවුරුදු භාණ්ඩාගාර වෙන්දේසියේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාට සම්බන්ධ සමාගම අක‍්‍රමිකතාවක් සිදුකර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර ඇත.

රුපියල් බිලියනයක ණය මුදලක් ලබාගැනීම සඳහා මෙම භාණ්ඩාගාර වෙන්දේසිය සිදුකළ අතර වසර 30 කින් කල් පිරෙන 9.35% සිට 9.75% දක්වා වන පොලියක් සමග ආපසු ගෙවන කොන්දේසියක් මත එම ණය මුදල ලබාගන්නා බව මහ බැංකුව මුලින් ප‍්‍රකාශ කර තිබිණි.

මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ සමාගම විසින් ඉහළ පොලී අනුපාතිකයක් අදාළ බැදුම්කර සඳහා ඉදිරිපත් කර තිබූ අතර මහ බැකුව අදාළ ණය ප‍්‍රමාණය බිලියන 10 දක්වා වැඩිකළ බවට චෝදනා එල්ලවී ඇත.

මෙය බරපතල සිද්ධියක් ලෙස සළකා පරීක්ෂණයක් සිදුකරන බවත් මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන බවත් ප‍්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Rate this item
(0 votes)