May 18, 2024

තලෙයිමන්නාරම දුම්රිය මග මෝදිගේ අතින් ජනතා අයිතියට 

ඉන්දීය රජයේ ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කළ මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්‌වා වූ දුම්රිය මාර්ගය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් 13 දා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.  

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය පසුකළ විට සැතපුම් 15ක්‌ දුරින් හමුවන මංසන්ධියක් වන මැදවච්චිය දුම්රිය ස්ථානයෙන් වමට හැරී තලෙයි මන්නාරම දක්වා මෙම දුම්රිය මාර්ගය ගමන් කරයි. මැදවච්චියේ සිට තලෙයි මන්නාරමට දුර කිලෝ මීටර් 106කි. 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් බෝම්බ තබා තල්අඩි පාලම පුපුරවා හැරීමෙන් පසුව තලෙයිමන්නාරම දක්‌වා වූ දුම්රිය ධාවන කටයුතු  නතර විණි.  

තලෙයිමන්නාරම දක්වා ඉදිකිරීම් අවසන්වීමෙන් පසු මේ දුම්රිය මාර්ගයේ පැයට කි.මී. 120ක වේගයෙන් දුම්රිය ගමන් කිරීමට සැලසුම් කර ඇත. නව තාක්‌ෂණික දුම්රිය සංඥා හා මෙහෙයුම් පද්ධතියක්‌ ස්ථාපිත කොට ඇත.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයක් අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 13 සහ 14 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.  

වසර 25කට පසුව ඉන්දීය අගමැතිවරයෙක් ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ.

Rate this item
(0 votes)