May 18, 2024

'හෙට අනිද්දා වෙනකොට තවත් කීපදෙනෙක් අල්ලනවා' - ඇමති ජෝන් හෙළි කරයි 

වංචා හා දූෂණවලට කිහිපදෙනෙක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් මොන මට්ටමේ දේශපාලනඥයෙක් වුණත් නීතිය අකුරටම ඉටුකිරීමට නියෝග ලබාදී ඇති බවත් සමාජය සාමය, ආපදා කළමනාකාරණය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යය ජෝන් අමරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (07) දෙණියාය පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. 

“හෙට අනිද්දා වෙනකොට තවත් කීපදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගන්න නියමිතව තියෙනවා" යැයි හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යාවරයා, " පසුගිය කාලයේ අපට ආරංචි හැටියට මේ ප්‍රදේශය සම්පූර්ණයෙන් දේශපාලනය වෙලා තිබුණේ. පොලීසිය පාලනය කළේ පොලිස්පතිතුමා නෙමෙයි, වෙනත් පිරිසක්. අපි කතා කරන පොලීසියේ අභිමානය, ගෞරවය පැත්තකට දාලා තිබුණේ. අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා අපට උපදෙස් ලබාදුන්නා කරුණාකරලා දේශපාලනයට පොලීසිය ගාවගන්න එපා කියලා. එය අකුරටම පිළිපදින්න අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේ පොලීසියට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි. හමුදාවට තිබුණ තත්ත්වයන් පොලීසියට ලැබුණෙ නෑ.“ 

“ඒ නිසා ඔවුන්ට ලැබිය යුතු ගෞරවය නැවත ලබාදෙන්න කටයුතු කරමින් යනවා. හැකි ඉක්මනින් අපි මේ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා, පොලිස් කොමිසම නැවත ස්ථාපිත කරලා පොලීසියේ ගෞරවය ලබාදෙන්න කටයුතු කරනවා. ඊට පස්සෙ මටවත් බැහැ පොලිස් නිලධාරීන්ට කිසිවක් කියන්න. මෙය දින 100 වැඩසටහනේ තවත් එක් වැඩක්. එය කරන අතරේ ප්‍රජා පොලීසිය පිහිටුවලා සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපිත කරන්නබලාපොරොත්තු වෙනවා.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)