May 18, 2024

රාවණා රජුගේ දඩුමොණරය නැවතු තැනක් (PHOTOS)

රාම සීතා පෙම්කතාවට අනුව රාවණා රජු ගමන්ගත්තේ යැයි කියන දඩුමොණරයක් ගැන රාමායනයේ කියවෙයි. සීතා දේවිය සඟවා තැබුවේ යැයි කියන ස්ථානයක් ලෙස නුවරඑළිය සීතාඑළිය ගැනද රාමායනයේ සඳහන් වෙයි.

සීතාඑළිය කෝවිල වර්ථමානයේදීත් හින්දු බැතිමතුන්ගේ පූජා පවත්වන ස්ථානයක් වන අතර රාවණා රජු විසින් සීතා දේවිය සඟවා තැබීම සඳහා නිතර නිතර ගමන්ගත් දඩුමොණරය නතර කර විවේකගත් ස්ථානයක් ලෙස වතු කම්කරුවන් පුද සත්කාර කරමින් තිබෙන ස්ථානයක් සොයා ගෙන තිබේ.

මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයට සහ කැනියොන් ජලවිදුලි බලාගාරයට ඉහලින් සප්තකන්‍යා කඳුවැටියට නුදුරු මාවුස්සාකැලේ නයිසා වත්තේ සීටන් කොටසේ අක්කර තුනක පමණ විශාල වපසරයකින් යුත් තැනිතලා ගල්පරයක් ලෙස මෙම ස්ථානය දැක ගත හැකිය.

අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ මෙම තැනිතලා ගල්පොත්තට ගිය විට දකින්නට ලැබෙන්නේ අඟලක් පමණ ගැඹුරට, අඟල් දෙකක් පමණ පළලට, අඩි පහක පමණ පරතරයකින් යුත් එක හා සමාන රේඛා දෙකක් අඩි සියයක් දිගට ගල්පර්වතයේ ස්ථාන කීපයකම සලකුණු කීපයක් තිබෙන ආකාරය ය. එම සලකුණු දඩුමොණරයේ රෝද සලකුණු බවයි  තාමත් වතු කම්කරුවන් විශ්වාස කරන්නේ.

මෙම ගල් පර්වතය අසල පොකුණක්ද තිබෙන අතර එම පොකුණ මීට වසර කීපයකට ඉහත විශාල පොකුණක් ලෙස තිබූ බවත් එය නඩත්තු නොකිරීමෙන් පොකුණ කුඩාවී ඇති බවයි වතු කම්කරුවන් පවසන්නේ. මෙම ගල්පර්වතයට පහළින් විශාල ගල් උමඟක පිහිටි කෝවිලක්ද දක්නට ලැබේ.

ඉතිහාසය පවසන පරිදි මෙම දඩුමොණරය රසදියවලින් ක‍්‍රියාත්මකවූ බවටද පැවසෙයි. මෙම ගල්පර්වතය ශ‍්‍රීපාද ස්ථානයටද යාබඳව පිහිටා තිබේ. 

රංජිත් රජපක්ෂ - හැටන්

ඡායාරූප පහළින් නරඹන්න

Rate this item
(2 votes)