May 18, 2024

‘ආණ්ඩු විපර්යාසයට දායක වුණා - අව්‍යාජ වැඩපිළිවෙලක් ඕන‘ - සම්බන්ධන්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිගත හැකි සාධාරණ අවංක වූ විසඳුමක් ඉදිරිපත් වේ නම් ඊට එකඟ වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානය එම අදහස පළ කළේ, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දීය.

එවැනි අවංක විසඳුමක් ඉදිරිපත් වුනොත් තනි රටක් තුළ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සහතික කර ගත හැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු වූ ආණ්ඩු විපර්යාසයට තමන් ද දායක වූ බවත්  එම නව පාලනය රට සඳහා උචිත බව තමන් ඉන්දීය විදේශ ඇමතිවරියට දැනුම් දුන් බව ආර්.සම්බන්ධන් මහතා පෙන්වා දුන්නේය.

යුද නිලධාරියකු වෙනුවට උතුරේ ආණ්ඩුකාර පදවියට සිවිල් පරිපාලන නිලධාරියකු පත් කරනු ලැබීම සහ පළාත් සභාවට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසරය සැකසීම අගය කරන දෙමළ ජාතික සන්ධානය, යුද සමයේ ඉඩම් අහිමි ජනතාවට ඔවුන්ගේ ඉඩම් යළි ලබා දීම මෙන්ම සිරභාරයේ සිටින දෙමළ තරුණයන් මුදා හැරීමට පියවර ගැනීම පිළිබඳව ද ඉන්දීය විදේශ ඇමතිවරිය සමඟ සාකච්ඡා කළ බව ඔහු පැවසී ය.

ශ්‍රී ලංකාවේ බලය බෙදීම සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සමඟ සාකච්ඡා කළ බවත් බොරු විසඳුම් නොව සාමය උදා කෙරෙන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කෙරුනොත් තනි රටක් ඇතුළත විසඳුම් මාර්ගයකට යාමට තමන් සූදානම් බව හෙතෙම සඳහන් කළේය. 

අව්‍යාජ වැඩ පිළිවෙලක් නම් රට බෙදීමෙන් තොරව එවැනි සැලැස්මක් භාර ගැනීමට තමන් සූදානම් බව ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

(බීබීසි)

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 March 2015 09:39