May 18, 2024

ආණ්ඩු ක්‍රමය වෙනස් කරනවා කිව්වට ගේන්නෙ මොකක්ද කියා දන්නෙවත් නැහැ

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන බවට පොරොන්දු දුන්නත් ඒය සිදු කරන්නේ කෙසේද? වෙනස්‌ කර ගේන්නේ කුමණ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවද කියා මෙම පිරිසට අවබෝධයක්‌ නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා මහතා පවසයි.

හෙතෙම වැඩි දුරටත් පවසන පරිදි “මේ අය මේ ආණ්‌ඩු ක්‍රම හඳුන්වන විදිහෙන්ම එය පැහැදිලියි. විධායක ජනාධිපති ක්‍රමය කියලවත් විධායක අගමැති ක්‍රමය කියලවත් ආණ්‌ඩු ක්‍රමයක්‌ මේ ලෝකෙ නෑ.
ආණ්‌ඩු ක්‍රමයක්‌ හඳුන්වන එක ක්‍රමයක්‌ වන්නේ විධායක බලය හසුරුවන පුද්ගලයා කවුරුද කියන කාරණය. විධායක බලතල හසුරුවන්නේ අගමැති ප්‍රධාන කැබිනට්‌ මණ්‌ඩලයක්‌ විසින් නම් ඒ ආණ්‌ඩුක්‍රමය හඳුන්වන්නේ කැබිනට්‌ ආණ්‌ඩු ක්‍රමයක්‌ නැතහොත් පාර්ලිමේන්තු ආණ්‌ඩු ක්‍රමයක්‌ විදිහටයි. එහි අගමැතිවරයා කිසිම අවස්‌ථාවක විධායක අගමැතිවරයෙක්‌ ලෙස හඳුන්වන්නේ නෑ. විධායක බලය හසුරුවන්නේ ජනාධිපතිවරයෙක්‌ නම් ඒ ආණ්‌ඩු ක්‍රමය හඳුන්වන්නෙ ජනාධිපති ආණ්‌ඩු ක්‍රමය විදිහටයි.

ඒ නිසා මේ ආණ්‌ඩු ක්‍රම හඳුන්වන විදිහෙන්ම පෙනෙන්නෙ මේ ආණ්‌ඩු ක්‍රම සම්පාදනය සඳහා සහභාගි වී සිටින විශේෂඥයින්ටවත් ඔය කතාකරන මැති ඇමැතිවරුන්ටවත් ආණ්‌ඩු ක්‍රම ගැන නිසි අවබෝධයක්‌ නැති බවයි.
මේ සඳහා තිබෙන්නෙ විකල්ප දෙකයි. මේ පවතින ආණ්‌ඩු ක්‍රමය සංශෝධනයට ලක්‌ කරල ජනාධිපතිවරයා සතු මේ බලතල ක්‍රියාවට නැංවීම පිළිබඳ සංවරණයක්‌ ඇතිකිරීම එක විකල්පයක්‌. එම සංවරණය ව්‍යවස්‌ථාදායකය හරහා සහ අධිකරණය හරහා යන දෙයාකාරයටම ඇති කරන්න පුළුවන්. දෙවැනි විකල්පය කැබිනට්‌ ආණ්‌ඩු ක්‍රමයකට යැම. ඒ සඳහා ජනාධිපති තනතුර නාමික තනතුරක්‌ බවට පත් කරන්න ඕන.
අද හුඟදෙනෙක්‌ හිතාගෙන ඉන්නෙ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනය නීතිඥයන්ගේ කාර්යභාරයක්‌ පමණයි කියල. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ කියන්නෙ රටක පාලන බලය හිමිවිය යුත්තේ කාටද, ඔහුට තිබෙන බලතල මොනවද, ඒ බලතල සංවරණය කරන්නෙ කොහොමද කියන කරුණු ටික විතරක්‌ නෙමෙයි. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවකට ව්‍යවස්‌ථානු දර්ශනයක්‌ තිබිය යුතුයි. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනය නීතිඥවරුන්ගේ කාර්යභාරයක්‌ නොවන්නේ ඒ නිසයි.” යනුවෙනි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා මහතා ඉරිදා පුවත්පතක් සමග සිදු කළ සාකච්ඡාවකදී මෙම අදහස් දක්වා තිබේ.

 

 

 

 

Rate this item
(0 votes)