May 05, 2024

අදට යෙදෙන ‘අන්තර්ජාතික කාන්තා දිනය’වෙනුවෙන් ජනපති පණිවුඩය

‘කාන්තාවට යහපත් රටක්’ වෙනුවෙන් යහපාලන ප්‍රතිපත්තිය මගින් බැඳී සිටින බව අදට (8) යෙදෙන අන්තර්ජාතික කාන්තා දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටී.

ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද එම පණිවුඩය මෙසේ ය.

සුවිශේෂ සමාජ පරිවර්තනයන් ඇතිවන මෙම නූතන යුගයේ කාන්තා අයිතිවාසිකම් සපුරාලීමට ප්‍රමුඛ ස්ථානයක් ලැබී ඇත. ලොව පුරා කාන්තාවට හිමි නිසි තැන උදාකර දීම සඳහා සමාජ, ආර්ථික, දේශපාලන මෙන්ම සංකල්පමය වෙනස්කම් සිදු වෙමින් පවතී.මානුෂීය අගයන් සහිත අපගේ සංස්කෘතික පසුබිම මත මානව සංහතියට කාන්තාව විසින් ඉටු කෙරෙන මෙහෙය සැමදා අගය කළ යුතු බව ද කාන්තාවකට සහජයෙන් උරුම වන මවු ගුණය, මෘදු බව, කාරුණික බව හා දයාව වැනි ගුණාංග තුළින් අප සමාජයේ පැවැත්ම මෙන්ම ඉදිරිගමනට වන දායකත්වය පිළිබඳව ‍ද හොඳින් සලකා බැලීමට අද වැනි දිනයක් ඉතාමත් යෝග්‍ය වේ.

මෙරට සෑම ක්ෂේත්‍රයකම සමාජ සහ ආර්ථික පැවැත්මට දායක වන්නා වූ ද විදෙස් රටවල නොයෙකුත් දුෂ්කර කාර්යයන්හි යෙදෙමින් දහදිය හෙළා මවුබිමේ ආර්ථිකයට මුදල් එවන මෙන්ම මවක් ලෙස දරුවන් හැදීම සහ වැඩීම යන මහඟු කාර්යයන්හි යෙදී සිටින්නා වූ ද කාන්තාවන්ගේ කාර්යයන් අප විසින් නිසි ලෙස අගය කිරීමේ යුතුකම ඉටු කළ යුතු වේ.

ලොව පුරා කාන්තාවන්ට ගෞරව කරමින් වඩාත් උසස් තලයකට ඔවුන් ගෙන යාමේ අවශ්‍යතාව සාක්ෂාත් කරගැනීමේ මහඟු අරමුණ කාන්තා දින ‘‍එය සිදුවන්නට දෙන්න’ යන තේමාවට සමගාමීව මෙරට කාන්තා දින තේමාව වන ‘කාන්තාවට යහපත් රටක්’ තුළින් සමාජීයතත්ත්වයන් සහ පරිසරයන් නිර්මාණය කිරීමේ උත්සාහයන් යථාර්ථයක් කිරීමට මෙම රජය ගන්නා පියවරයන් හි සුබවාදී ප්‍රතිඵලය වෙත සිත යොමු කර තිබීම සතුටට කරුණකි.

අප රටේ කාන්තාවන් නිසි ලෙස අගය කරන, ඔවුනට සාධාරණත්වය ඉටුවන ‘කාන්තාවන්ට යහපත් රටක්’ නිර්මාණය වන හෙට දිනක් ප්‍රාර්ථනා කරමින් මෙම 2015 ජාතික කාන්තා දින සැමරුම් උලෙළට සුබ පැතුම් පිරි නමමි.

Rate this item
(0 votes)