May 05, 2024

ජනපති දිවයිනෙන් පිටත් විය / සාමාන්‍ය ගුවන් ගමනක් නිසා ඩුබායි හරහා ලන්ඩන් යන්න වෙයි

බ්‍රිතාන්‍ය මහ රැජණගේ ප්‍රධානත්වයෙන් මාර්තු 09 වැනිදා එක්සත් රාජධානියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ධූත පිරිස අද (07) දිවයිනෙන් පිටත්ව ගියේය.

ඒ අද පෙරවරු 10.10 ට කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වූ සාමාත්‍ය ගුවන් සේවයට අයත් එමිරේට්ස් වර්ගයේ ගුවන් යානයකිනි.

ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ මෙය සාමාන්‍ය ගුවන් ගමනක් හේතුවෙන්  DEK – 651 දරණ එමිරේට්ස් ගුවන් යානයෙන් ඩුබායි හරහා ලන්ඩන් ගමනාන්තය වෙත ලඟාවීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ධූත පිරිසට සිදුවෙනු ඇති බවය.

මෙම නිල සංචාරය සඳහා එක් වූ මෙරට දූත පිරිස 06 ක් බවත් සඳහන් වෙයි.

ජනාධිපතිතුමා එක්සත් රාජධානියේ සිදුකරන මෙම සිව්දින නිල සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත අතර සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ ද සාකච්ඡා පවත්වනු ඇත.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල දින සැමරුම් උළෙලට සහභාගි වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ රැජිණ බකිංහෑම් මාළිගාවේ පිරිනමනු ලබන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ද ජනාධිපතිතුමා සහභාගි වනු ඇත.ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වයට පත්වූයේ 2013 කොළඹ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවේ දී ය.

ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලය වෙතට ගෙන යන පණිවුඩය නම් ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු පත් වූ නව රජය රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙනුත් පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ සබඳතා සවිමත් කරගැනීම සම්බන්ධයෙනුත් දරන ආකල්පයි.

නව රජය පොදු රාජ්‍ය මණ්ඩලයීය අගයන් ශ්‍රී ලංකාවේ සවිමත් කිරීමට දරන ප්‍රයත්නයන් සහ ඒ සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් සාමාජික රටවලට පැහැදිලි කර දීමට ජනාධිපතිතුමා මෙම අවස්ථාව උපයෝගී කර ගනු ඇත.

රජයේ දින සියයේ වැඩසටහනට අඩංගු වන කරුණු බොහොමයක් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රාථමික ප්‍රතිපත්තීන්ට අයත් වන අතර ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අන්‍යෙන්‍ය ගෞරවය, ඉවසීම හා අව‍බෝධය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, බලතල වෙන්ව තැබීම, නීතියේ ආධිපත්‍ය, යහපාලනය, තිරසාර සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඒ අතර වෙයි.

ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී රටේ ජාතීන් අතරත්, විවිධ ආගම් අදහන ජන කොටස් අතරත්, සංහිඳියාව ඇති කිරීමටත්, විවිධ දේශපාලන පක්ෂ අතර සංහිඳියාව තුළින් අර්ථාන්විත ප්‍රජාතන්ත්‍රවාදී නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමටත් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලය දැනුවත් කරනු ඇත.

ඒ අතරම එතුමා මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා අධිකරණ, පොලිස්, මැතිවරණ සහ විගණන ආයතන ස්වාධීනත්ව කොමිසම පත්කිරීමට ගෙන ඇති පියවර සෙසු නායකයන්ට විස්තර කරනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 March 2015 11:01