May 18, 2024

UNP නෙරපීම වලක්වන්නැයි තිස්ස ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

තිස්ස අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් එවකට පැවැති රජය සමග එක් වී සෞඛ්‍ය අමාත්‍යධූරය පවා හෙබවීය.

මේ සමග ඔහුගෙන් හිස්වූ පක්ෂ මහලේකම් තනතුරට කබීර් හෂීම් මහතා පත් කිරීමට ද එක්සත් ජාතික පක්ෂය පියවර ගත්තේය.

මැතිවරණයෙන් අනතුරුව පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකදී තිස්ස අත්තනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය.

ඒ අනූව තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිස්ස අත්තනායක මහතා මෙම පෙත්සම ගොනු කර ඇතැයි සඳහන්ය.

 

Rate this item
(0 votes)