May 19, 2024

ජාතික ඖෂධ පනත වැඩි ඡන්ද 67කින් සම්මතයි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත වැඩි ඡන්ද 67කින් අද(06) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව 68ක්ද විපක්ෂව එක් ඡන්දයක්ද හිමිව තිබිණි.

නව රජයේ දින 100 වැඩසටහන යටතේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් ලෙස ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන එන බව ප්‍රකාශයට පත් කොට තිබුණි. 

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුකූල වන ආකාරයට ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබාදීම, නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම සහ එකී ඖෂධ, වෛද්‍ය උපකරණ හා සීමාස්ථ නිෂ්පාදනවලට අදාළ කරුණු මෙහි ප්‍රධාන වේ.

සායනික පරීක්ෂණ පවත්වන ආකාරය නියාමනය කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් වගකීම් පැවරෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමට ද කෙටුම්පත් කර තිබේ.

තවද ඖෂධ නියාමන අංශය, වෛද්‍ය උපකරණ නියාමන අංශය, සීමාස්ථ නිෂ්පාදන නියාමන අංශය සහ සායනික පරීක්ෂණ නියාමන අංශය ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අංශ පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීමට ජාතික උපදේශක කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද කෙටුම්පතෙහි අන්තර්ගත වේ. 

එසේම 1980 අංක 27 දරන විලවුන්, උපකරණ සහ ඖෂධ පනත ඉවත් කිරීමට සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම යන කරුණු මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇත.

 

Rate this item
(0 votes)