May 19, 2024

සභාග ආණ්ඩුවකට ශ්‍රීලංනිපය සැරසෙයි

දින සියයේ ආණ්ඩුවෙන් පසු සභාග ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා කර ඇති බවත් මීලඟ මහ මැතිවරණය පෙර නව මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

කොට්ඨාශ ක්‍රමය සහිත නව මැතිවරණ ක්‍රමයක් යටතේ මීලඟ මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් අප්‍රේල් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට හැකිද යන්න අප කළ විමසීමකදී ඔහු පැවසූවේ ආසන ක්‍රමයට නව මැතිවරණ ක්‍රමයකි සකස් කළහොත් ඊට කාලයක් ගත වන බැවින් එතෙක් සභාග ආණ්ඩුවක් ඇති කිරීමට සාකච්ඡා කර ඇති බවයි.

ව්‍යවස්ථා සංශෝධනය, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ආදී තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඊයේ (05) පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර මහනුවරදී අද පැවැත්වෙන රැලියට ශ්‍රීලංනිපයේ මහජන නියෝජිතයන්ට සහභාගි නොවන ලෙස පක්ෂයෙන් තිරණයක් ගෙන ඇති බවත් පක්ෂයේ නියෝජිතයින් සහභාගී වුවහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත් ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසී ය. 

මහජන නියෝජිතයින්ට ආචාර ධර්ම පද්ධතියක් සකස් කළ යුතු බවටද පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් කළද ඒ සඳහා කිසිවෙකුට වගකීමක් ලබා දී නොමැති බවත් පක්ෂයේ ඉදිරි මැතිවරණ කටයුතු ප්‍රතිසංවිධාන කටයුතු ආදිය සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය.

එමෙන්ම විධායක බලතල අහෝසි කිරීම සඳහාත් මැතිවරණ ක්‍රමය සංශෝධනයටත් ශ්‍රීලංනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබි ඇත. මේ අතර සන්ධානය බලයේ සිටි පළාත් සභා පෙරළීම සඳහා සහය දුන් ශ්‍රී ලනිප පළාත් සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටද තීරණය වී ඇත.

 

Rate this item
(0 votes)