May 19, 2024

ජනපති හෙට සාමාන්‍ය ගුවන් යානයකින් බ්‍රිතාන්‍යයේ නිල සංචාරය අරඹයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රි ලංකන් ගුවන් සමාගමට අයත් මඟී ගුවන් යානයකින් හෙට (07) සවස එංගලන්තයේ ලන්ඩන් නුවර බලා නික්ම යෑමට නියමිතය.

බ්‍රිතාන්‍ය එළිසබෙත් මහ රැජිණගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සිව් දින නිල සංචාරයට එංගලන්තය බලා පිටත්ව යයි.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු දෙවන විදේශ සංචාරයට එක්වන ජනාධිපතිවරයා ප්‍රමුඛ  ශ්‍රි ලංකා දූත පිරිස පිළිගැනිමට ලන්ඩන් ගුවන් තොටුපළේ විශේෂ උත්සවයක් බ්‍රිතාන්‍ය රජය සූදානම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ලන්ඩන් නුවර දී මේ මස 09 වන දින පැවැත්වෙන පොදු රාජය මණ්ඩලීය තරුණ හමුවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක් වීමට නියමිතය. ජනාධිපතිවරයා ඊට එක්වනුයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයා ලෙසින්ය.

බ්‍රිතාන්‍ය මහ රැජිණ සමඟ විශේෂ හමුවකටත් දිවා භෝජන සංග්‍රහයකටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වෙයි. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ‍බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව ප්‍රවේශයක් වනු ඇති බවද ජනාධිපති ලේකම් කාර්යාලයේ අදහසයි.

මීට අමතරව ජනාධිපතිවරයා එංගලන්තයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් හමු වී ඔවුන් සමගද සුහද හමුවකට එක් වීමට නියමිතය.

විදේශ ඇමැති මංගල සමරවීර, එම අමාත්‍යාංයේ ලේකම් චිත්‍රාංගනී වාගීශ්වර, ජනාධිපති ලේකම් පී.බී අ‍බේකෝන් මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් 20 දෙනෙකුට අඩු පිරිසක් ඒ සඳහා එක් වීමට නියමිත බවත් සඳහන්.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 06 March 2015 10:07