May 18, 2024

මහනුවර රැලියට සන්ධාන මන්ත්‍රීන් 100 ක්‌ එනවා - ගම්මන්පිල

"දිනූ රට අනතුරක - ජාතියේ අභියෝග ජයගැනීමට පෙළ ගැසෙමු" යන්න තේමා කරගෙන අද (06)  පස්‌වරු 3.00 ට මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අසල පැවැත්වෙන ජාතික රැලියට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සියයක්‌ පමණ සහභාගි වනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊට සහභාගි වන සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු බවත් තම තනතුරුවලට වඩා රටට ආදරය කරන ශ්‍රී ල.නි.ප. මහජන නියෝජිතයන් සිටින බව මෙම රැලියෙන් පැහැදිලි වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ විසින් සංවිධානය කරන ජනරැලි මාලාවේ දෙවැන්න මෙය වේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස බලකරමින් මෙම රැලිය පැවැත්වේ.

මෙම ජනරැලිය අමතා මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන් පිරිසක්‌ කතා කිරීමට නියමිතය. 

මෙම ජනහමු මාලාවේ තුන්වැන්න අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඉන් අනතුරුව රත්නපුර, කුරුණෑගල, මොනරාගල, ගම්පහ හා මාතර නගර වලදීද රැස්‌වීම් සංවිධානය කර තිබේ.

 

Rate this item
(0 votes)