May 18, 2024

ප්‍රසන්න රට ගියේ ඇයි? - ඔස්ට්‍රේලියාවේ සිට ප්‍රකාශයක් කරයි  

ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබා දිය යුතු බවට ප්‍රකාශ කර ඇති බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හදිසියේම විදේශගත වී තිබේ.

විදේශගත වූ මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සිය ෆේස් බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමේ තමාගේ ස්ථාවරයේ වෙනසක් නොමැති බවත් මෙම විදේශ ගමන දෙවතාවක්ම අවලංගු කිරීම හේතුවෙන් ඊයේ (04) රාත්‍රී ඔස්ට්‍රේලියාව බලා පැමිණි බවත්ය.

කුමන තහංචි දැමවද තමාගේ සටන වෙනස් නොවන අතර ඉදිරියේ පැවැත්වෙන සියලු රැස්වීම සදහා සහභාගිවෙන බවත් පක්ෂයේ නියෝග මෙම ගමනට හේතු නොවූ බවත් ඔහු අවධාරණය කරයි.

ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් මත ඔහු එසේ පිටත්ව ගිය බවත්, එය සති 3ක සංචාරයක් වුවද සතියකින් එම සංචාරය නිමවා ප්‍රධාන ඇමතිවරයා යළි දිවයිනට පැමිණෙන බවත් වාර්තා වේ.

ප්‍රසන්න රණතුංග මහතා පසුගිය මස 18 දා නුගේගොඩ සංවිධානය කර තිබූ රැළියට ද බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීන් රැසක් සමග සහභාගී විය.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ගෙන ඒම වෙනුවෙන් මහනුවරදී හෙට (06) රැළියක් පැවැත්වීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 March 2015 14:32