May 18, 2024

කමල් අද්දරආරච්චි ත් ඉදිරි ඡන්දෙන් දේශපාලනයට එයි

ඉදිරි මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ අරමුණින් තමා වෙත නිසි යෝජනාවක් ඉදිරිපත් වූවහොත් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ කලා ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ඒෂියන් මිරර් කළ විමසීමකදී සඳහන් කළේය.

මුල් කාලයේ දේශපාලනය කිරීමේ අරමුණක් තමා තුළ නොතිබුණද මේ වන විට දේශපාලනය සඳහා පිවිසීමේ අවශ්‍යතාවයක් තමා තුළ ඇතිවී තිබෙන බවත් ඒ වෙත තල්ලූවී තිබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඒ සඳහා නිශ්චිත ආසනයක් හෝ ජනප්‍රිය ආසනයක් තමා බලාපොරොත්තු නොවන බවත් එජාපයේ ජනප්‍රියත්වය අඩු සහ දුර්වලයි යනුවෙන් හඳුනාගෙන ඇති ආසනයකින් තමාට පිවිසීමේ හැකියාවක් ඇති බවත් එවන් අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බවත් ප්‍රවීණ කලා ශිල්පී කමල් අද්දරආරච්චි මහතා පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ කලා ශිල්පී කමල් අද්දරආරච්චි මහතා පැවසූවේ “ජනතා හිත සුව පිනිස කියලා ලේබල් ගහ ගත්තු බොහෝ අය දේශපාලනයට එනවා. මමත් හිටියෙ කලාකාරයෝ මොකටද දේශපාලනය කරන්නෙ කියන තැනයි. මෙගා ටෙලි නාට්‍යවලින් කාලකන්නි තැනට වැටෙන් නැතිව කලාව තුළ අල්පේච්ඡ ජීවිතයක් ගත කළා. හොද දෙයකට විතරයි දායක වුණේ. මගේ වයස දැන් 53 යි. මම කලාවට පිවිසුනේ 18 දි.. වසර 35 ක් ක්ෂේත්‍රයේ ඉන්නවා. මේ දේශපාලන වතාවරණය තුළ අපේ කලාවට ඉඩක් නැහැ. හොඳ දෙයක් කරන්න ඉඩක් නැහැ. බාධා එල්ලවෙනවා වැඩියි..දේශපාලන ඇඟිලි ගැසීම් වැඩියි.. මේක දිනා ගන්න අපිට සටන් කරන්න වෙලා. දේශපාලනය නිසා කලාව තුළ අද කලාකාරයාට ජීවත් වෙන්න බැහැ.. හූල්ල හූල්ල අසහනයෙන් ඉන්නයි වෙලා තියෙන්නෙ.

අද දේශපාලනය  හරියට කළමණාකරනය නොකරපු නිසා මුළු සමාජයත් දේශපාලනඥයොත් පිරිහිලා. හරියට දේශපාලනය එහෙමත් නැතිනම් ජනතාව වෙනුවෙන්ම දේශපාලනය කරන පිරිසෙන් අතලොස්සක්වත් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණෙයි. එහෙනම් මට හොඳම තැන ජනතා විමුක්ති පෙරමුණයි.හැබැයි විපක්ෂයට වෙලා කෑ ගහ ගහා ඉඳලා වැඩක් නැහැ. එතකොට ජනතාව වෙනුවෙන් දෙයක් ප්‍රායෝගිකව කරන්න බෑ. හිටපු ජනපති මගේ හැම උපන් දිනයකටම මට සුබ පැතුවා. ඔහු මගෙන් හරි ප්‍රයෝජනයක් ගත්තා නම් අදත් ඔහු පුටුවෙ ඉන්නවා.”

ප්‍රවීණ කලා ශිල්පී කමල් අද්දරආරච්චි මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ තමා දේශපාලනයට පිවිසෙන්නේ පක්ෂයක් හෝ දේශපාලනඥයින් ගේ අතකොලුවක් වීමට නොවන බවත් කලාව තුළින් ජනතාවට කල හැකි බොහෝ දේ සඳහා දේශපාලනය විසින් බැඳ ඇති වැට කඩොලු ඉවත් කිරීමේ අරමුණින් බවත්ය. ඉන් රටේ සංවර්ධනයට සහ යහපාලනයට අවශ්‍ය වන පරිදි ජනතා චින්තනයේ වෙනසක් ඇති කිරීම තමාගේ දේශපාලන ප්‍රවිශ්ටත්වයෙන් අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

නව රජයේ දින 100 යේ අභියෝගයෙන් ඇතැම් පක්ෂ දේශපාලන වාසි ගන්න උත්සහ කරනවා. මෙම තත්ත්වය උඩ එජාපය බිඳ වැටීමේ තත්ත්වයක් නිර්මාණය වෙන්න ඉඩ දෙන්න එපා යනුවෙන්ද කමල් අද්දරආරච්චි මහතා එජාප නායකත්වයෙන් ඉල්ලීමක් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 March 2015 14:32