May 18, 2024

'දූෂිතයන්ට පියවර ගැනීමට නීති නැත්නම් නීති ගේන්න' - වාසුදේව

දූෂණ වංචා පිළිබඳව ප්‍රසිද්ධියේ චෝදනා නැගුවත් දූෂිතයන්ට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව උනන්දුවක් නොදක්වන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

විශේෂයෙන්ම නීති විරෝධී ලෙසින් මුදල් රටින් පිට කරන ලද පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබෙන හැඩක් දකින්නට නැති බව මන්ත්‍රීවරයා පැවසීය.

"මේ උදවිය දූෂණ ගැන කොච්චර මේ ඝෝෂා කිරීම් කළත්, ඇත්තටම දූෂණයක් ගැන හොයන්න අවස්ථාව ලැබුණම එතරම් උනන්දුවක් දක්වන බවක් පෙන්නේ නෑ" යැයි බීබීසි සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත.

ස්විට්සර්ලන්තයේ එච්එස්බීසී බැංකුවේ ශ්‍රී ලාංකිකයන් 92 දෙනකු සතු බැංකු ගිණුම් 129 ක් පවතින බවට ගවේෂණශීලී මාධ්‍යවේදීන් පිරිසක් විසින් පසුගියදා සොයා ගන්නා ලද තොරතුරු පිළිබඳව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කොට තිබුණි.

අදාල මුදල් ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් බදු ගෙවීමට යටත්ව තිබුණේද, එම මුදල් රටින් පිටතට ගෙන ගොස් තිබෙන්නේ විදේශ විනිමය රෙගුලාසිවලට අනුකූලව දැයි තමන් ප්‍රශ්න කළ බවත් හෙතෙම සඳහන් කර ඇත.

"නමුත් පිළිතුර අනුව මුදල් ඇමතිවරයාගේ, අපේ නීතියක් තියෙනවලු, ඒ නීතිය අනුව ජනමාධ්‍යයක පල වූ පමණින් ඒක අපේ මූල්‍ය බුද්ධි අංශයට විභාග කිරීම සඳහා සැලකීමට ගන්න බැරිලු," යනුවෙන් ඔහු පැවසී ය.

එබැවින් අදාළ නීතිය සංශෝධනය කරන මෙන් තමන් ඉල්ලා සිටි බවත් එය සංශෝධනය කිරීම පිණිස සහාය දීමට විපක්ෂය සූදානම් බවත්  වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)