May 18, 2024

සමාගම්වලින් කෝටි 100 ක්‌ ගෙන ඖෂධ පනත අතුරුදහන් කළා - ජනපති හෙළි කරයි  

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත අතුරුදන් කිරීම සඳහා සමාගම් හාරසියයකින් රුපියල් කෝටි සියයක මුදලක්‌ ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විවාදය ඇරඹූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදී සකස්‌ කළ ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත 2011 දී අතුරුදන් වූ බවය.

එවක නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තෙරේසා පෙරේරා මහත්මිය මෙම පනත් කෙටුම්පත සතියකින් නිම කර භාරදෙන බව කීවද ඉන් පසු ඇය විශ්‍රාම ගිය බවද පනත් කෙටුම්පත අතුරුදන් වූ බව ද ජනාධිපතිවරයා පැවසී ය.

මෙම පනත අතුරුදන් කිරීම සඳහා එක්‌ ඖෂධ සමාගමකින් රුපියල් ලක්‍ෂ 25 බැගින් සමාගම් 400 කින් මුදල් එකතු කරගෙන ඇති බව දැන ගත් බවත් ඒ මුදල ගියේ කොහාටදැයි තමන් නොදන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව පරීක්‍ෂණයක්‌ කළ යුතුව තිබුණ ද නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව භාරව සිටියේ කවුරුන්දැයි රහසක්‌ නොවේ යැයි ද ඖෂධ පනත් කෙටුම්පත අතුරුදන්වීම සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ සිදු වූ විශාලතම ඛේදවාචකය බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)