May 19, 2024

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ඉදිරියටත්  

කන්තලේ, වාන්ඇල සූරංගල් ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ගිණි අවි පැහැරගැනීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අප්‍රේල් 14 වැනි දා දක්වා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලීසියට අවසරය ලබා දී තිබේ.

එලෙස අත්අඩංගුවට පත් වූ පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් සිද්ධියට සෘජුව ම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන අතර අනෙක් සැකකරු ඒ සඳහා ආධාර අනුබන දී ඇතැයි වාන්ඇල පොලීසිය කියයි.

එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන ත්‍රිකුණාමලය, කින්නියා, අන්නල් නගර් පදිංචි අබ්දුල් රසාක් අබ්දුල් මූනීස් හෙවත් රියාස් සහ කින්නියා, කුට්ටිකරච්චි පදිංචි හයාතු මොහොමදු මුබාරක් රිනිස් හෙවත් ඊබ්රහහිම් නැමැති ආධාර අනුබල දුන් පුද්ගලයා එලෙස රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි.

ප්‍රධාන සැකකරු  ප්‍රදේශයේ කොල්ලකෑම්, ගෙවල් බිදීම්, සොරකම් කිරීම් සම්බන්ධයෙන් නමගිය පුද්ගලයෙක්වන අතර එම අපරාධවලට බන්ධනාගාර ගත ව සිටිය දී බන්ධනාගාරයේ දී ආධාර අනුබලදුන් පුද්ගලයා හඳුනාගෙන තිබේ.

ඉකුත් මාර්තු 02 වැනි දා එල්ල කළ එම බෝම්බය පොලිස් නිලධාරින්  අසලට වැටුණ ද පුපුරා නොගිය අතර පසු ව බෝම්බය නිෂ්ක්‍රීය කෙරිණි.

කන්තලේ කොට්ඨාශ භාර පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි එම්ජී ආරියරත්න මහතාගේ උපදෙස් මත වාන්ඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්එම් සිරිවර්ධන මහතා වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

අමදෝරු අමරජීව 

Rate this item
(1 Vote)