May 20, 2024

ජනපතිට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස ගිනි තපින්නට නොවේ - සෝභිත හිමි (VIDEO)

වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ. 

ඒ නිසා ජනපතිවරණය පැවති සමයේ දුන් පොරොන්දු ඉටු කිරීමට ඔහුට වගකීමක් තිබෙන බවද කොළඹ පදනම් ආයතනයේ ඊයේ (01) පැවති සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානයේ සමුළුවක් අමතමින් ඒ හිමියෝ ප්‍රකාශ කළහ.

“ජනාධිපතිතුමනි, දුෂ්කරම‍ දේ අපි කළා. තැටිය රත්කරන්න අපි අවුරුදු ගාණක් දුම් බිම්මා.  තැටිය රත්කරලා දුන්නේ රොටිය පුච්චන්න දැන් බැලුවම ගිනි තපිනවා. දැන් අපි මේ කියන්න ආවේ ඕක හැදුවේ ගිනි තපින්න නෙවෙයි ඕයි. ඕක හැදුවේ රොටිය පුච්චන්න. ඒ රොටිය පුච්චනවා“ යැයි උන්වහන්සේ සඳහන් කළහ.

අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට මාස 06 ක කාලයක් යොදාගන්නා ලෙසට තමන් වහන්සේලා ප්‍රකාශ කරද්දී ඒ සඳහා දින 100 ක කාලයක් සෑහෙන බවට ජනාධිපතිවරණය පැවැති සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටි බවත්, ඒ අනුව එම පොරොන්දු ඉටුකිරීමට ඔහුට වගකීමක් තිබෙන බවද උන්වහන්සේ පැවසූහ. 

මේ වනවිට ආණ්ඩුව ගමන් කරමින් තිබෙන මාර්ගය පිළිබඳව කලකිරීමක් ඇතිව තිබෙන බවත්, ජනතාවට දුන් පොරොන්දු ඉටුනොකිරීම පිළිබඳව බරපතළ සැකයක් ඇතිවන බවත් සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ආරම්භක අවස්ථාවේ සිට සටනට පිවිසි තමන් වහන්සේ අමතක කරමින් ආණ්ඩුව ගමනක් යන බව උන්වහන්සේ කියා සිටියහ. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියන් සඳහන් කළේ ජාතික විධායක සභාවට සහභාගී වන්නේ නැද්දැයි සමහරුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන බවත් එම සභාවට තමන් වහන්සේ ඉදිරිපත් කර ඇති බවට පුවත්පත්වල පළ වී තිබුණද මේ දක්වා පත්වීම් ලිපියක් හෝ රැස්වීම්වලට සහභාගී වන ලෙස ආරාධනයක් නොලැබුණු බවත්ය.

Rate this item
(0 votes)