May 20, 2024

ව්‍යවස්‌ථා සංශෝධනය හදිසි පනතක්‌ ගේන්න එපා - දිනේෂ්

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හදිසි පනතක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසට මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්‌ඩුවට අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසූවේ මහජන එක්‌සත් පෙරමුණ විසින් ඊයේ (01) රාජගිරිය සමරින් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ හදිසියේ කලබලයෙන් කළයුතු දෙයක්‌ නොවන බවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 77, 78, 83, 121, 122 වගන්ති ප්‍රකාරව එය සිදුකරන ලෙසත් 77 වගන්තියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු ආකාරය සඳහන්ව ඇති බවත් එය උල්ලංඝනය කළ නොහැකි බවත්  හෙතෙම පෙන්වා දුන්නේය.

හදිසි පනතක්‌ ලෙස ඉදිරිපත් කර මහජනතාවට, දේශපාලන පක්‍ෂවලට තිබෙන අයිතිය යටපත් නොකරන ලෙස ද නීති විශාරදයන්ට, සංවිධානවලට, ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළ හැක්‌කේ පනත පෙනෙන්නට තිබුණොත් පමණක්‌ බවද දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමේදී එය මහජනතාවට, දේශපාලන පක්‍ෂවලට හොරෙන් සිදු නොකර ව්‍යවස්‌ථාවේ සඳහන් වගන්ති අනුගමනය කර එම වගන්ති ප්‍රකාරව කටයුතු කරන ලෙස ඔහු ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේය.

මේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මෙතෙක්‌ ඉදිරිපත් කර නැති බවත්, හදිසි පනතක්‌ වශයෙන් ඉදිරිපත් නොකර දින 100 තුළ එය සිදුකිරීමට මේ සතියේ ආරම්භ කළත් කාලය තිබෙන බව ද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.

ව්‍යවස්‌ථා සංශෝධනයේදී ඡන්ද ක්‍රමයේ වෙනස්‌ කිරීම සර්වපාක්‍ෂික කමිටුවේ වාර්තාව සැලකිල්ලට ගෙන කළ හැකි බැවින් එය කිසි ලෙසකින් කල් දැමිය යුතු නොමැති බවත් ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌ඩුක්‍රම වගන්ති ප්‍රකාරව සිදුකරන ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිපි මගින් තම පක්‍ෂය දැනුම් දී ඇති බවත් හෙතෙම පැවසීය.

 

Rate this item
(0 votes)