May 11, 2024

විධායකය අහෝසි කරන යෝජනාව ලබන මස පාර්ලිමේන්තුවට 

February 27, 2015

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය එයට එකඟ නොවන්නේ නම් මහ මැතිවරණයට යන බවත් අගමැති  රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට දැනුම් දී ඇත.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (26)  අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විණි. 

ව්‍යවස්ථා සංශෝධනයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමද ඇතුළත් කොට ඉදිරිපත් කරන ලෙස  විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී සඳහන් කර තිබේ. 19 වන සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරයේ බලතල පමණක් නොව මැතිවරණ ක්‍රමයද සංශෝධනය කරන වගන්ති ඇතුළත් කරන ලෙස විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත.

එම ඉල්ලීමට එකඟ නොවන බවත් දින සියයක් තුළ විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීමට දුන් ‍පොරොන්දු පළමුව ඉටු කරන බවත් මෙහිදී අගමැතිවරයා සඳහන් කර ඇත.

එම නිසා විධායක බලතල ඉවත් කිරීමේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පවසා ඇති අගමැතිවරයා ශ්‍රීලනිපය ඊට විරුද්ධ නම් විරුද්ධව ඡන්දය දෙන ලෙස  ප්‍රකාශ කළේ යැයි එම කමිටුවේ ප්‍රකාශකයෙකු පැවසීය.

ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත්  පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයකට යන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ව්‍යවස්ථාපිත කමිටුවට රවුෆ් හකීම්, විජිත හේරත්, එම්.ඒ. සුමන්තිරන්, මහචාර්ය ජී.එල්. පීරිස්, ජෝන් සෙනෙවිරත්න, රිෂාඩ් බදියුදීන් යන මැති ඇමැතිවරුද ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න හා බිම්බා තිලකරත්න මහත්මියද සහභාගි වී සිටියහ.

Rate this item
(0 votes)