May 10, 2024

රෝගී තත්ත්වය තහවුරු කර ගන්න විමල්ගේ බිරිඳ අද අධිකරණයට

February 27, 2015

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වූ ශෂී වීරවංශ මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම සඳහා අද (27) සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (26) බන්ධනාගාරය නිලධාරීන්ට නියෝග කළේය.

සිද්ධියට අදාළව ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සමග නීතිඥ සංජය ගමගේ මහතා විසින් ගොනු කරන ලද මෝසමක් සැලකිල්ල ගනිමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියමය කළේය.

තම සේවාදායිකාවගේ සෞඛ්‍ය තත්ත්වය අසතුටුදායක හෙයින් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් ජනාධිපති නීතිඥවරයා සිය මෝසම මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් ඇමතූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ දේශපාලනය මේ කිසිදු දෙයකට සම්බන්ධ නැති බවත් අධිකරණයට දේශපාලනය සම්බන්ධ කර නොගන්නා ලෙසත්ය.

පසුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ශෂී වීරවංශ මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට සැකකාරිය අද (27) අධිකරණය ඉදිරියට පැමිණිවීමට බන්ධනාගාරයට නියම කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 February 2015 14:42