May 10, 2024

පසුගිය ජනපතිවරණයේ පැමිණිලි විභාගයට විශේෂ කමිටුවක්

February 27, 2015

2015 ජනාධිපතිවරණයට පෙර හා පසු ව සිදු වූ බවට වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි කඩිනමින් විභාග කිරීමට විශේෂ කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. 

මේ වන විට ලැබී ඇති පැමිණිලි කඩිනමින් විභාග කිරීමට සහ අනාවරණය වන්නා වූ මැතිවරණ අවභාවිතයන් පිළිබඳ ව නිසි අධිකරණ ක්‍රියාමාර්ග සහ විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අවශ්‍ය විධිමත්, කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා නීතිය, පරිපාලන, මැතිවරණ, මූල්‍ය හා විමර්ශන යන විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත ව මෙම විශේෂ කමිටුව පිහිටුවනු ඇත. මෙම කමිටු වාර්තාව දින 60ක් ඇතුළත ඉදිරිපත් කිරීමට ද නියමිතය. 

මාධ්‍ය අවභාවිතය, පොදු දේපළ මැතිවරණ කටයුතු සඳහා සාවද්‍ය ලෙස යොදාගැනීම, රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම, රජයේ නිලධාරීන් දේශපාලන කටයුතුවලට යොදවා ගැනීම, 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත. 

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීම වෙනුවෙන් රුපියල් බිලියනයක පමණ මුදලක් එම ආයතනය වෙත ලැබීමට ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ රුපියල් මිලියන 1670 මැතිවරණ කටයුතු සඳහා යොදා ඇති බවත් මේ සඳහා මැදිහත් ව කටයුතු කළ නිලධාරීන්ට දඬුවම් පමුණුවා මුදල් අයකර ගැනීමට කටයුතු කරන බවත් ‍සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. 

එම වැරදි වෙනුවෙන් නිසි පරිදි ක්‍රියාකළ හොත් ඉදිරියේ දී  එවැනි වැරදි නොවීමට කටයුතු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)