May 11, 2024

අද සිට වැඩිවෙන රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විස්තර මෙන්න 

February 25, 2015

දින 100 වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය අංශයේ වැඩිම වැටුප් වැඩි වීම අද (25) දින සිදු වන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ දින 100 වැඩපිළිවෙළ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී ය. 

ඒ අනුව අවම මූලික වැටුප රුපියල් 11,730ක් වූ රාජ්‍ය සේවකයෙකුගේ දීමනා සමඟ ලබන මුළු වැටුප වන රුපියල් 25,040 ට නව රජයේ අතුරු අයවැයෙන් යෝජනා කළ පරිදි පළමු වැටුප් වැඩි කිරීම වන රුපියල් 5,000 එකතු වූ විට අද ලැබෙන මුළු වැටුප රුපියල් 30,000 ඉක්මවයි. 

නව රජය රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමේ පොරොන්දුව අනුව ඉතිරි රුපියල් 2,000 එළඹෙන ජුනි මාසයේ සිට මෙම වැටුපට එකතු වන අතර එවිට රාජ්‍ය සේවකයෙකු ලබන අවම වැටුප රුපියල් 32,000කට වඩා වැඩි වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්‍රජාත්‍රන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා පැහැදිලි කළේය. 

රුපියල් 47,515ක රාජ්‍ය අංශයේ උපරීම මූලික වැටුප ලබන රාජ්‍ය සේවකයෙකුට දීමනා සමඟ අද වැඩි වන රුපියල් 5,000 එකතු කළ විට ලැබෙන මුළු වැටුප රුපියල් 72,800ක් පමණ වන අතර එළඹෙන ජුනි මාසයේ සිට එකතු වන රුපියල් 2,000 සමඟ මුළු වැටුප රුපියල් 74,800 දක්වා වැඩි වේ. 

දින 100 වැඩපිළිවෙළ තුළ වැඩි කළ මුදල් මූලික වැටුපට එකතු කරන්නේ ද යන්න විශ්‍රාම වැටුප්, රජයේ ආදායම, පෞද්ගලික අංශවල බලපෑම යන කරුණු පදනම් කරගෙන මුදල් අමාත්‍යංශය සමඟ එක්ව අවධානය යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 

 

Rate this item
(0 votes)