May 12, 2024

වීරවංශ බිරිය කර ඇත්තේ සමාජ ක්‍රමයේම පවතින වරදක කොටසක් - සන්නස්ගල

February 25, 2015

ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසන්නේ එය ඇයගේ ප්‍රශ්නයක් නොව විමල් වීරවංශගේ කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් බවය.

කොළඹ පදනම් ආයතනයේ පැවති දේශනයක් අතරවාරයේ වත්මන් ලාංකීය තත්ත්වය නිදසුනකට ගනිමින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

එහිදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා සඳහන් කර ඇත්තේ 'වාමාංශික නායකයෙකු ලෙස විමල්ට තමන් කසාද බඳින ලද්දේ වයස අවුරුදු 10ක පමණ වැඩිමල් ගැහැණියක් බවත්, එය තමාගේ අයිතිය බවත්,ඒ පිළිබඳ අන් කිසිවෙකුට ප්‍රශ්නයක් තිබිය නොහැකි බවත්' ඔහුට ප්‍රසිද්ධියේ කිවහැකි කොන්දක් තිබිය යුතුව තිබුණු නමුත් ඒ වෙනුවෙන් ඔහු තෝරාගෙන තිබු‍ණේ වෙනත් මාර්ගයක් බවත්ය.

කොළඹ රාජකීය විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළව චක්‍ර ලේඛයේ වගන්තියට අනුව ළමුන් ඇතුළත් කරගත හැක්කේ  පාසලට  මීටර් 100 ක දුරින් සිටින ළමුන් පමණක් බවත්, එකී භූමි ප්‍රදේශයට අයත් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පමණක් බවත් ඔහු පෙන්වා දී තිබේ.

ඒ නිසාවෙන් රාජකීය විද්‍යාලයට ළමුන් ඇතුළත් කිරීමට බොහෝ දෙනා කූඨ ලේඛන සකස් කරන බවත්, අදාළ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලබන්නේ නම් රාජකීය විද්‍යාලයේ සිසුන්ගේ මව්පියන්ගෙන් 99% ක්ම අත්අඩංගුවට ගත යුතුව ඇති බවත් සන්නස්ගල මහතා අවධාරණය කර ඇත.

මීට පෙරාතුව මහරගම ඩිපෝ අධිකාරීවරයා තමාගේ දැරිය කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කිරීමට අයදුම් කළද එය නොලැබුණු පසු කොට්ටාව,හෝමාගම,අවිස්සාවේල්ලෙන් එන බස්  රථ නැවැත්වීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කර ඇත. එදින විදුහල්පතිනිය ඩිපෝ අධිකාරීවරයාට කතා කොට බස් රථ නවත්වා ඇති බැවින්  සිසුවියන් 400 කගේ පමණ පැමිණීමට බාධා එල්ලවී ඇති බවත් විදුහල්පතිනිය පෙන්වා දීමේදී ඩිපෝ අධිකාරීවරයා පවසා ඇත්තේ තමාගේ දියණිය මහරගම බැවින් පාසලට ඇතුළත් කර නොගත් බව හා ඊට එපිට පෙදෙස් වලින් එම විද්‍යාලයට සිසුවියන් පැමි‍ණීම අපේක්ෂා කළ නොහැකි බවත් යැයි ද සඳහන් කර තිබූ බවය. ඊට පසුදින ඩිපෝ අධිකාරීවරයාගේ දියණිය පාසලට ඇතුළත් කර ගැනීමට විදුහල්පතිනිය කටයුතු කළ බවද සන්නස්ගල මහතා අවධාරණය කර ඇත.

ඒ අනුව ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පෙන්වා දී ඇත්තේ ශෂී වීරවංශට  එල්ලවී ඇති චෝදනාව වන 'කූඨ ලේඛන සැකසීම' සැබවින්ම වරදක් බවත්, එහෙත් එය සමාජ ක්‍රමයේම වරදක කොටසක් බවත්ය.

Rate this item
(0 votes)