May 14, 2024

දේශීය පරීක්ෂණය විශ්වාස නැහැ - ජිනීවා කල් තැබීමට උතුරේ විරෝධය

February 24, 2015

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව කල් තැබීමට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතාවයක් යාපනය විශ්ව විද්‍යාල ගුරු සංගමය, ශිෂ්‍ය සංගමය විසින් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී  ආරම්භ කොට පා ගමනින් පැමිණ යාපනය පලාලි මාර්ගයේ නල්ලූර් කෝවිල ඉදිරියේදී අවසන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට සහභාගී විය. කෙසේ වෙතත් එම විරෝධතාව සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සහභාගී නොවු බව වී. ජයතිලක මන්ත්‍රීවරයා කියා සිටි.

අද පෙරවරුවේ උතුරු පළාත් සභාව රැස්වූ අවස්ථාවේ අදාළ විරෝධතාව සඳහා සහභාගී වීමට පළාත් සභා රැස්වීම පැය දෙකකට කල් තබන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවීකරන් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ යෝජනාව උතුරු පළාත් සභාව සම්මත කර ඇති අතර ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධතාව සඳහා සහභාගී වීමට පිටත්ව ගිය බව පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජන සංහාරයක් සිදුවූ බවට පසුගියදා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගත් අතර එම යෝජනාව ඉදිරිපත් කර තිබූණේද උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා වූ සී වී විග්නේෂ්වරන් විසිනි.

මෙහිදී උද්ඝෝෂණ අවස්ථාවට සහභාගී වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ වත්මන් රජය විසින් දේශීය පරික්‍ෂණයක් සිදු කිරීමට උත්සාහ කළද එය මෙරට දෙමළ ජනතාවට සිදු කරන තවත් අසාධාරණයක් බැවින් දෙමළ ජනතාව අතර මෙම දේශීය පරික්‍ෂණය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බැවින් එයටද දැඩි විරෝධය පළ කරන බවය.

මේ අතර අද විරෝධතාවයට සහභාගී වූ මන්ත්‍රීවරුන් යළි පැමිණීමෙන් පසුව මාසික සභා වාරයේ කටයුතු යළි ආරම්භ කළ බව වී.ජයතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වන්නි - රොමේෂ් මධුෂංක

ඡායාරූප සියල්ල පහළින්....

Rate this item
(0 votes)