May 21, 2024

සඳහිරු සෑයේ ඉදිකිරීම් ගැන තීරණයක් ගන්නවා - ආරක්ෂක රාජ්‍ය ඇමති

February 24, 2015

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව නායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ අනුමැතිය මත පමණක් සඳහිරු සෑයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සිදුකිරීම පිළිබඳ රජය විසින් තීරණය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (23) අනුරාධපුර අටමස්ථානයන්හි හා වෙනත් පූජනීය ස්ථාන කිහිපයක ම නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.  

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අනුරාධපුරයේ අටමස්ථාන භාර ස්වාමින් වහන්සේලා හා අනෙකුත් බෞද්ධ පූජනීය ස්ථාන භාර ස්වාමීන් වහන්සේලා මුණගැසී ජිවිත පූජාවෙන් අප රට එල්.ටී.ටී.ඊ. රුදුරු ත්‍රස්තවාදයෙන් මුදවා ගන්නා ලද රණවිරුවන්ට කෘතවේදීත්වය දැක්වීම සඳහා ඉඳිකරගෙන යනු ලබන සඳහිරු සෑ චෛත්‍යයේ ඉඳිකිරීම් පිළිබඳ ව අදහස් ලබා ගන්නා ලෙස කරන ලද දැනුම්දීමකට අනුව රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කර ඇත. 

ජිවිත පුජාවෙන් අප රට බේරාදුන් රණ විරුවන් වෙනුවෙන් ඉඳිකරනු ලබන මෙම චෛත්‍යයේ ඉඳිකිරීම් සඳහා රණ විරුවන් විසින් විශාල ශ්‍රමයක්, ධනයක් හා කාලයක් වැයකර ඇති බවත් මේ සම්බන්ධයෙන් නායක ස්වාමීන් වහන්සේලා විසින් පවසන ලද කරුණු ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන බවත් හෙතෙම පැවසුවේය. 

මෙහිදි පළමුව අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ බැහැදුටු රුවන් විජයවර්ධන අමාත්‍යවරයා උන් වහන්සේගෙන් මේ පිළිබඳ ව කරණු විමසා අනතුරු ව ජය ශ්‍රි මහ බෝධීන් වහන්සේ වෙත ගොස් වැඳපුදා ඊට නිසි ගෞරව දක්වා ආශිර්වාද ලබාගන්නා ලදී.  

අනතුරුව රුවන්වැලි සෑ විහාරස්ථානයට ගොස් එහි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ මුණගැසි මේ පිළිබඳ ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව රුවන්වැලි සෑ මහා චෛත්‍යවහන්සේ ද වැඳපුදා ගත්තේය. 

පසුව සඳහිරු සෑ පූජා භූමියට ගොස් මල් පුජාකිරිමෙන් අනතුරුව එහි වැඩකටයුතු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මෙහිදි සඳහිරු සෑය චෛත්‍ය ඉඳිකිරීම පිළිබඳ ව කරන ලද ඉදිරිපත් කිරීමක් ද අමාත්‍යවරයා විසින් නරඹන ලදී. 

 

Rate this item
(0 votes)