May 21, 2024

හයිබ්‍රිඩ් වාහනවල බදු ඉහළ දැමීමේ තීරණයේ වෙනසක් නෑ - මුදල් ඇමති 

February 24, 2015

හයිබ්‍රිඩ් වාහන ආනයනය කිරීමේදී අයකරනු ලබන බදු මුදල් ඉහළ දැමීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ‘මුදල් ඇමැති සමග හෝරා දෙකක්‘ යනුවෙන් නම් කර තිබූ ව්‍යාපාරික හමුව අතරතුරදී ව්‍යාපාරිකයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ අනුව කුමන පාර්ශ්වයක් විසින් කුමන ආකාරයේ ඉල්ලීම් කළද රජය තම ප්‍රතිපත්තිමය තීරණයන් වෙනස් කිරීමට සූදානම් නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය. 

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ “අපි කුමන විදිහකින්වත් මේ රටේ ආර්ථිකය ආපස්සට හරවන්න ඉඩ තියන්නේ නැහැ. අපි ජනවාරි 29 වැනිදාට පෙර ණයවර ලිපි විවෘත කර තිබූ අයට සහනයක් ලබාදෙන්න කටයුතු කළා. ඒත් මේ නව අයවැයෙන් මිල අඩු කළ එන්ජින් ධාරිතාව  සී.සී. 1000ට අඩු  වාහන නිකුත් කරන්න සමහර ආනයනකරුවන් ක්‍රියා කළේ නැහැ. ඒ වගේම තමයි මේ බදු වැඩි කළාම ඒ වෙනකොටත් ආනයනය කරලා ප්‍රදර්ශනාගාරවල අලෙවියට තිබූ හයිබ්‍රිඩ් මෝටර් රථ  වැඩි මිලට විකුණන්න මේ අය ක්‍රියා කළා.“ යැයි ඔහු පෙන්වා දුන්නේය.

“මම මේ සියලු දේ ගැන හොඳ අවබෝධයක් ඇතුවයි මේ කටයුතු කරන්නේ. ඒ වගේම අපි මේ අවස්ථාවේදී අපේ තීරණය වෙනස් කරන්න උත්සාහ කළොත් දින සියයේ වැඩපිළිවෙළ ගැන ජනතාව තබාගන ඉන්න විශ්වාසයද බිඳ වැටෙනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)