May 20, 2024

"මානව හිමිකම් පිළිබඳ රජය දුන් පොරොන්දු ඉටු වී නෑ " - කැෆේ 

February 23, 2015

මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුවී නැති බවත් එම පොරොන්දු වහාම ඉටු කළ යුතු බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා පවසයි. 

අතුරුදහන්වූවන්, දේශපාලන සිරකරුවන්, අත්අඩංගුවේදී ඝාතනයට ලක්වූවන්, මර්දනය නිසා විදේශගතවූවන් ඇතුළු පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වය විසින් පීඩාවට පත්වුවන් පිළිබද පැහැදිළි කිරීමට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ “මැතිවරණ සමයේදී ආණ්ඩුව විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් පොරොන්දු රැසක් ලබාදුන්නා. ආණ්ඩුව පිහිටුවා දින පනහකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් මෙසේ ලබාදුන් පොරොන්දු නිසි ආකාරයෙන් ඉටු කර නැහැ. පසුගිය කාලයේදී අතුරුදහන්වූ පුද්ගලයින්,  නීති විරෝධී ආකාරයට සිදුවූ ඝාතන, පැහැරගෙනයාම්, විවිධ හේතූන් මත රදවාගෙන සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කරන බවට වත්මන් ආණ්ඩුව මැතිවරණ කාලයේදී පොරොන්දු වූවා. අතුරුදහන්වූ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවට පොරොන්දු ලබාදුන්නා. ඒත් ලලිත්, කුගන් වැනි අතුරුදහන්වූ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා තබා ඒ සම්බන්ධයෙන් වන මූලික පියවරවත් ගෙන නැහැ.“

“මේ වන විට වැලිකඩ බන්ධනාගාර සිද්ධියට අදාල පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ හැරෙන්නට  වෙනත් කිසිවක් කර නැහැ. දේශපාලන හේතූන් මත අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින ජයකුමාරි තවමත් සිරගෙන සිටින්නේ. ඇයගේ ළමුන් තවම බූස්ස කදවුරේ රැදවුම් නිවාසයක රදවා තිබෙනවා. දේශපාලනය කිරීමට ඉල්ලා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට ඒ සදහා අවස්ථාව ලබාදෙන්නේ නෑ. ඔහු ඉල්ලා සිටින්නේ දේශපාලනය කිරීමේ අයිතිය ලබාදෙන්න කියලයි.“ යැයි ඔහු පෙන්වා දුන්නේය.

“පසුගිය කාලයේදී තර්ජන නිසා රට හැරගිය මාධ්‍යෙව්දීන්ට නැවත පැමිණෙන්නැයි ආණ්ඩුව ඉල්ලා තිබෙනවා. ඒත් මේ වන තෙක් ඔවුන් පැමිණ නැහැ. ඔවුන්ට ලංකාවට පැමිණීමට අවශ්‍ය පරිසරය තවම නිර්මාණය වී නැහැ. අතුරුදහන්වූවන්, පැහැරගෙනයාමට ලක්වූවන් සහ දේශපාලනය කිරීමට අයිතිය ඉල්ලා සිටින පුද්ලගයින් සම්බන්ධයෙන් මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු වහාම ඉටු කළ යුතුයි.“ යනුවෙන්ද කීර්ති තෙන්නකොන් මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)