May 20, 2024

පවුල් වනාන්තරත් නෑ ස්වාමීන්වහන්සේලාට තනතුරුත් නෑ - ජනපති

February 22, 2015

තමන් පවුල් ගස් හා වනාන්තර නොහඳන බවත් ජනපති සම්බන්ධීකරණ තනතුරු ස්වාමීන් වහන්සේලාට පිරිනමන්නේ නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21දා) පැවැසීය.

ගම්පහ, පහළයාගොඩ ශ්‍රී සුගතනන්දාරාම පුරාණ මහා විහාරස්ථානයේදී පැවැති උත්සවයකදී ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ  "මම පවුල් ගස් සහ පවුල් වනාන්තර හදනවා නම් මට එහෙම හදන්න තිබ්බා මම ජනාධිපති වෙන්න කලින් මැති ඇමතිකම් කරපු කාලේ ඉඳන්. අවුරුදු 25 ක් පාර්ලිමේන්තුවෙ හිටපු කාලෙ මට ඒක කරන්න තිබුණා.

මම මේ ධුරයට පත්වෙලා පළමු සතියෙම මගේ ජයග්‍රහණයට කටයුතු කරපු ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ඇවිල්ලා කිව්වා උන් වහන්සේලාව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරු විදිහට පත්කරන්න කියලා. මම ස්වාමීන් වහන්සේලාව මගේ ලේකම්වරු විදිහට පත් කර ගන්නේ නෑ කියලා කිව්වා.

මගේ ප්‍රතිපත්තිය බුද්ධාගමේ කටයුතුවල චිරස්ථිතිය සඳහා ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ලබාගෙන උන්වහන්සේලාගේ මගපෙන්වීම තුළ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීමයි. මේ මණ්ඩලය ස්වේච්ඡා උපදේශක මණ්ඩලයක් මිසක් පඩි ගෙවන වාහන දෙන මුදල් දෙන තනතුරු නෙවෙයි." යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 February 2015 13:51