May 02, 2024

මැතිණි මාතරට දාපු අමුතුම මෝස්තරේ

- මංජුල බටුගෙදර ලියයි

ඒ අසුව දශකයේ මැද භාගයේ දවසකි.

බණ්ඩාරනායක මැතිනියගේ පුතා අනුර හචා මල්ලක් කරේ එල්ලාගත් අමුතුම වර්ගයේ තරුණයෙක් මැතිනිය හමුවට එක්කගෙන ගියා.

ඒ වෙනකොට යාන්තම් වයස අවුරුදු 30 පැන්න මේ තරුණයාව මැතිනිය හමුවට කැඳවාගෙන ගිය අනුර මෙහෙම කිව්වා.

"මම මාතරට කිව්වේ මෙයා ගැන තමයි.මහානාමගේ පුතා."

මැතිණිය අනුර හඳුන්වා දුන් තරුණයාගේ හිසේ සිට පහළට බැලුවේ අනුර එක්කගෙන ආපු මේ අමුතුම ඩයල් එකට දේශපාලනය කරන්න පුළුවන්ද කියන සැකයත් එක්ක.

මොකද සම්ප්‍රදායික දේශපාලනඥයෙකු තුළ තිබෙන ලක්ෂණ මේ තරුණයා තුළ තිබුණේ නැහැ..

ඒ මේ තරුණයා ඒ කාලේ තමන් කළ මෝස්තර වැඩේට ගැලපෙන විලාසිතාවකින් සැරසී සිටි නිසා.

මැතිනි පෙරළා අනුරගෙන් ඇහුවේ "මෙයාට මාතර සංවිධායකකම කරන්න පුලුවන්ද,"

ඒකට අනුර දීපු උත්තරේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

ඔන්න ඔහොමයි අද (24) මාස 784 ක සිය ජීවිත ගමන අවසන් කළ මංගල සමරවීර සිය මැද මාවතේ අපූරු දේශපාලන ගමනට පා තැබුවේ.

මංගල මුලින්ම පාර්ලිමේන්තුවට ආවේ 1989 පැවැති පළමු සමානුපාතික ඡන්දයෙන් මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට.

එහෙත් 1994 චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග රටේ ජනපති වෙනකම් මංගල එහෙම කැපී පෙනෙන චරිතයක් වුණේ නැහැ.

ඒ ඒ වෙනකොටත් පක්ෂයේ සම්ප්‍රදායික ජේෂ්ඨයන් මුල් තැන්වල සිටි නිසා.

හැබැයි විජය කුමාරතුංගයන්ගේ ඝාතනයෙන් පසු එංගලන්තයේ රැඳී සිටි චන්ද්‍රිකාව මෙරටට ගෙන්වා බස්නාහිර මහ ඇමති පුටුවේ සිට අගමැතිධූරය හරහා ජනපති පුටුවට ගෙනයෑමේ වැඩ පිළිවෙළේ හිටපු ප්‍රධානම පුරුකක් මංගල.

1994 මහ මැතිවරණයේදී දාහත් අවුරුද්දක එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරළා ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ පොදු පෙරමුණ බලය ගත්තා.

ඒකට බොහෝ දුරට බලපෑවේ චන්ද්‍රිකාගේ ප්‍රතිරූපය.

එහෙත් මංගල චන්ද්‍රිකාවාදියෙක් කියන එක මාතර ජනතාවගේ ඇඟට දැනුණේ නැහැ.

ඒ නිසා 1994 මහමැතිවරණයේදී මංගල පාර්ලිමේන්තුවට ආවේ මාතර පොදු පෙරමුණ ලයිස්තුවේ 4 වැනියා හැටියට.

අද ඇමති ධූරයක් දරණ ඩලස් අලහප්පෙරුමයි එදා ලයිස්තුවේ එක වුණේ.ඊට පස්සේ මහින්ද මහින්ද විජේසේකර හිටියා.

මංගල නැමැති වැඩකරුවා දේශපාලන ගේම්කරුවා බිහිවන්නේ මෙන්න මේ ඡන්දෙන් පස්සෙ.

ඒ ඡන්දෙන් පස්සෙ චන්ද්‍රිකා පත්කළ කැබිනට් මණ්ඩලයේ හිටපු ළාබාලම ඇමතිවරයා මංගල.

වයස අවුරුදු 38යි.

මංගලට පස්සේ හිටපු තරුණයා වූයේ කලක් වූ සමග කිට්ටුවෙන් වැඩ කළ එස්.බී.දිසානායක.

එතකොට එස්.බී ගේ වයස අවුරුදු 43යි.

ඉන් පසු ගෙවුණු වසර 6ක කාලය තුළ චන්ද්‍රිකාගේ අගසව් දෙපළ වන්නේ මෙන්න මේ මංගල හා එස්.බී.දිසානායක.

මංගල තුළ තිබෙන ජාතිවාදී , ආගම්වාදී නොවන ප්‍රතිපත්තිය එළියට ආවේ මේ කාලේ.

බොහෝ දෙනකු අනුමත නොකළ බලය බෙදීමක් ගැන ජනතාව දැනුවත් කරන සුදු නෙළුම් ව්‍යාපාරයක් මංගල ගෙන ගියෙත් මේ කාලේ.

මංගල යළිත් කැපී පෙනෙනම දේශපාලන චරිතයක් වුණේ 2004දී.

ඒ මංගලගේ සැඟවුණු තවත් දක්ෂකමක් එලියට ආපු නිසා.

ආණ්ඩු ගන්න පක්ෂ වෑල්ඩිං කිරිමේ හැකියාව පෙන්නූ මංගල ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ කරගෙන අවුරුදු 3 ක් සිටි රනිල්ගේ ආණ්ඩුව පෙරළුවා.

ඔය කාලේ වෙනකොට මංගලට මහින්ද රාජපක්ෂව එච්චර දිරෙව්වෙ නැහැ.

එහෙත් ප්‍රතිපත්තිමය දේශපාලනයක් කළ මංගල 2005 ජනපතිවරණයේදී ශ්‍රී.ල.නි පයේ පතාක යෝධයින් මහින්ද රාජපක්ෂව මග හරිද්දී මහින්ද වෙනුවෙන් බෙල්ල තිබ්බේ ශ්‍රීපති සූරියාරච්චි සම්බන්ධ කරගෙන.

මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මංගලගේ ගමනට ලොකු ආයුෂක් තිබ්බේ නැහැ.

මහින්ද යටතේ මංගල අගමැතිකම බලාපොරොත්තු වූ කතාවකුත් ඒ කාලේ තිබ්බා.

කොහොම වුණත් දෛවය කියන්නෙ මාරම එකක්.

තමන්ගේ දේශපාලන දිවියේ කොන්දේසි විරහිතව වැඩියෙන්ම ප්‍රහාර එල්ල කළ පුද්ගලයා එක්ක දේශපාලනය කරන්න මංගලට සිදුවීමයි.

ඒ රනිල් වික්‍රමසිංහ එක්ක.

ඉන්පසුව පසුගිය ජනපතිවරණය වන තෙක්ම මංගල දේශපාලනය කළේ රනිල් එක්ක.රනිල්ගේ එ.ජා.ප.යත් එක්ක.

ඒ කාලය තුළ මංගලට යළිත් තම කඳවුරේ ජනපතිවරයෙක් පත්කරගන්න පුළුවන් වුණා.ආණ්ඩුවක් පිහිටුවා ගන්න පුළුවන් වුණා.

හැබැයි කොයි කඳවුරේ හිටියත් මංගල කියන්න තියෙන දේ ප්‍රසිද්ධියේම කියපු කෙනෙක්.

බොහෝදෙනෙක් එකඟ නොවුණත් තමන්ට කහ සිවුර ගැන තියෙන මතයක් මංගල ප්‍රසිද්ධියේම කිව්වා.

තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සම්ප්‍රදායික නොවන දේ ගැනත් මංගල ප්‍රසිද්ධියේම කිව්වා.විශේෂයෙන්ම විවාහ නොවෙන්න හේතුව පාර්ලිමේන්තුවේදීත් කිව්වා.

දේශපාලනයේ සිල් රෙදි පෙරවගෙන කරන්න බැහැ.

මංගලත් ප්සෙට් කරගත්ත දැනුත් අනාගත තැනුත් තියෙනවා.

හොඳම උදාහරණය 2007 ය වැයේදී ජ.වි.පෙත් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න ගිහින් තමුනුත් අනාගෙන අනුර බණ්ඩාරනායකවත් අනලා දාපු අනා ගැනිල්ල.

මංගල මැද මාවතේ රැඩිකල් මිනිහෙක්.හොඳ දේශපාලන ගේම් කාරයෙක්.විටෙක කඩ කැඩිච්ච දේවල් කියපු කෙනෙක්.වයසට ගියත් කොල්ලෙක් වගේ හිතපු චරිතයක්.පොත පත කියවපු , සිනමාව රස විඳි රසවතෙක්.

මේක ඔක්කොම එකතු කළාම කියන්න තියෙන්නේ මංගල චරිතයක් කියන එක.

ඒ මංගල දැන් නික්ම ගිහින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 August 2021 15:24