May 03, 2024

ගෑස් අර්බුදයේ ඉදිරි දවස් පහ තීරණාත්මකයි - ගෑස් නැවක් ආවේ නැත්නම් වෙන දේ!

අර්බුදයට විසඳුම් සෙවීම ‘අද නොවෙයි හෙට‘ ට කල් දැමීම හේතුවෙන් ගෑස් ‘සැපයුම් ජාල කළමනාකරණය‘ (Supply chain Management) මේ වන විට අර්බුදයකට ලක්ව ඇත. ඉදිරි දින 4 ගෑස් හිඟය උපරිම මට්ටමට පැමිණෙනු ඇති අතර, සෑම දින 2 ½ කට වරක්ම රටට ගෑස් නැවක් ගෙන්වා ගැනීමට අසමත් වන්නේ නම් ‘සැපයුම් ජාල බිඳවැටීමේ‘ තත්වයක් මතු වනු ඇතැයි ද එහි ප්‍රතිඑලය ලෙස රටේ දෛනික ජන ජීවිතය බිඳ වැටෙනු ඇත.

ලිට්රෝ සමාගමේ ගෑස් වෙළෙදපොල පංගුව 71% ක් වු අතර ඉතිරි 29% ලාෆස් සතුය. රටේ ගෑස් සිලින්ඩර ලක්ෂ 101 කි. එයින් ලාෆස් සමාගම සතු සිලින්ඩර ලක්ෂ 29 කි. ලිට්රෝ සිලින්ඩර ලක්ෂ 72 ට වැඩිය. 

බෙහෝ නිවේස්වල ගෑස් සිලින්ඩර දෙක බැගින් ඇත. දෙකම පිරී ඇත්තේ ඉදහිටය. ගෑස් හිඟයත් සමඟම ලක්ෂ 29 ක් සිලින්ඩර හිස් විය. දෙවන සිලින්ඩරය ලෙස නිල් ගෑස් ලබාගත් පිරිස වහා ගෑස් ලබාගැනීමට පොරකන්නට විය. දැන් කහ පාට ගෑස් ද නිල් පාට ගෑස් ද දෙකම නැත.

ලාෆ්ස් (කි.ග්. 12.5) සිලින්ඩරය පමණක් ඇති පවුල් ලක්ෂ 9 කි. ක්.ග්. 5 තනි සිලින්ඩරය පමණක් භාවිත කරන ලක්ෂ 4 ක් දැන් අන්ත අසරණය. ලිට්රෝ සමාගමේ (කි.ග්. 12.5) ලක්ෂ 38 ක් තනි සිලින්ඩරයේ හිමිකරුවන්ය. නිල් සිලින්ඩරය හිස් වන විට අලෙවි නියෝජිතයා ලඟ ගෑස් නැති නම් ඔවුන් අන්ත අසරණ වනු ඇත. තව දින 4 ක් තුල ලක්ෂ 8 ක් ගෑස් සොයා යන පෝලිමට එකතු වනු ඇත.

ලිට්රෝ සමාගම සතු එකම සක්‍රීය ගෑස් සිලින්ඩර් පිරවුම් අංගනය කෙරවලපිටියේ පිහිටා ඇත. එහි සම්පූර්ණ ගෑස් ධාරිතාවය මෙ.ටො. 8000 කි. සාමාන්‍ය තත්වය යටතේ ගෑස් ටැංකියක 10% - 15% ක ඇත්තේ වායුව යි. දියර ගෑස් 85% ක් ආසන්න ප්‍රමාණයකි. ඒ අනුව, ලිට්රෝ සමාගම සතු සම්පූර්ණ දියර ගෑස් ධාරිතාව මෙ.ටො. 7000 කි. (සටහන - ලිට්රෝ සමාගමේ හම්බන්තොට අංගනය මේ වන විට අතහැර දමා ඇත)

මෙ.ටො. 3000 ක් පමණ ඉතිරිව තිබිය දී කෙරවලපිටිය අංගනයට ගෑස් නැවක් රැගෙන ඒම ලෙට්රෝ සමාගමේ ව්‍යවහාරයයි. ලිට්රෝ සැපයුම්කාර ඕමාන් ට්‍රෙිඩින් සමාගම සතුව නැව් දෙකක් ඇති අතර ඒවා මෙ.ටො. 3500 ට ආසන්න ධරිතාවයෙන් යුතුය. ඕමානයේ සිට ලංකාවට ගෑස් නැවක් පැමිණීමට දින 5 ½ ක් ගත වන අතර මෙහෙයුම් කටයුතු සඳහා අතිරේක දිනක් අවශ්‍ය ය.

කහපාට ලාෆස් ගෑස් වෙළෙඳපොලට නිකුත් වූ අවධියේ ලෙට්රෝ දිනකට ගෑස් මෙ.ටො. 1150 ක් පුරවා බෙදාහරිනු ලැබීය. දැන් එය මෙ.ටො. 1350 දක්වා ඉහළ ගොස් ඇත. ඉදිරි දින 2 තුල රට පුරා පෝලිම්වල ගෑස් සැපයීමට නම් දින 2 ½ වරක් ගෑස් නැවක් (මෙ.ටො. 3500) ක් කෙරවලපිටියට පැමිණිය යුතුය.

එවැනි අඛණ්ඩ සැපයීමක් සිදු කිරීමේ ‘ජාල කලමනාකරණයක්‘ ලිට්රෝ සමාගමට සතුව නැත. ලාෆස් ආයතනය මෙන් ගෑස් ගබඩා කිරීමේ පර්යන්ත පහසුකම් ද, තම සමාගම සතු ඔවුනගේම නැව් ද (ලාෆස් සමාගමට නැව් 3 ක් ඇත) නැත.

ගෑස් අර්බුදය පිළිබඳ මම දැන් සති දෙකක සිට සවිස්තර අනතුරු ඇඟවීම් සිදු කර ඇත. මාගේ පූර්ව කථනය වූවේ අගෝස්තු තෙවන සතියේ දී ගෑස් අර්බුදයේ උපරිමයට ලගා වනු ඇති බවය. දින 13 කට කලින් එම අවස්ථාව උදාවී ඇත.

දින 2 ½ කට වරක් කෙරවලපිටිය ගෑස් පර්යන්තය වෙත සැපයුම් ගෙන්වා ගැනීම ලිට්රෝ සමාගම හා රජය සතු වගකීමකි. එසේ නොවන්නේ නම් ගෑස් සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම කඩා වැටීම නොවැලැක්විය හැකි වනු ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්

Rate this item
(0 votes)