May 19, 2024

එකපිට එක එන රොකට් ප්‍රහාර එක දිගට බිම හෙලන ඊශ්‍රායලයේ “අයන් ඩෝම්” ආරක්ෂක පද්ධතිය

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම ඊශ්‍රායල් රාජ්‍ය පිහිටවනු ලැබූ දිනයේ සිටම ක්‍රියාත්මක වන්නක්. ඊශ්‍රායලය ලොව බලවත් රාජ්‍යයක නොවුනත් බලවත් රාජ්‍යයක තරමටම ඊශ්‍රායලය “වැඩ-කිඩ” පෙන්නලා තියෙනවා. ඊශ්‍රායලය පිහිටා තියෙන්නේ මැද පෙරදිග කලාපයේ. ඊශ්‍රායලයේ අසල්වැසි රටවල් වන්නේ පලස්තීනය, ජෝර්දානය, සිරියාව, ඊජිප්තුව, ලෙබනනය වගේ රටවල්. හැබැයි මේ අසල්වැසි රටවල් එක්ක ඊශ්‍රායලයට නම් එච්චර හොඳ ඉතිහාසයක් නම් නෑ. මේ හැම රටක්ම 1948 අවුරුද්දේ ඉඳලා ඊශ්‍රායලයට විරුද්ධව යුද්ධ කරලා පැරදිච්ච රටවල් බව කිව්වොත් ඔබ පුදුම වේවි.

අපි මේ කතා කරන්න යන “අයන් ඩෝම් (Iron Dome) ආරක්ෂක පද්ධතිය මේ දවස් වල වැඩිපුරම ජාත්‍යන්තර පුවත් වල අනිවාරයයෙන් කියවෙනවා. ඒකට හේතුව පහුගිය දින කීපයක ඉඳලා ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුධ ගැටුමයි. පහුගිය පැය 48ක කාලය ඇතුලත පලස්තීනයේ ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර 1000කට වඩා එල්ල වුණා නමුත් මේ රොකට් ප්‍රහාර වලින් 90% කට වඩා උඩු ගුවනේ දීම විනාශ කරන්න මේ “අයන් ඩෝම්” ආරක්ෂක පද්ධතිය සමත් වුණා. මේ මොහොත වනවිටත් ඊශ්‍රායල් ජාතිකයන් බියෙන් සැකෙන් තොරව තම දෛනික වැඩ කටයුතු කරගෙන යන්නේ මේ ආරක්ෂක පද්ධතිය නිසයි.

මොකද්ද මේ “අයන් ඩෝම්” කියන්නේ?

අයන් ඩෝම් ඒහෙමත් නැතිනම් “යකඩ ගුහාව” ලෙස හඳුන්වන මේ ආරක්ෂක පද්ධතිය බිහි වෙන්නේ අතීත කතාවකුත් එක්කයි. කුතිනු බැතිමතුන් ඊශ්‍රායල් ජාතිකයන් වන යුදෙව්වන් හඳුන්වන්නේ “දෙවියන් වහන්සේගේ බැටලු රැල” ලෙසයි. ඊශ්‍රායලය නම් දේශයට සතුරන් විසින් පහර දෙන විට දෙවියන් වහන්සේ විසින් යුදෙව්වන් ආරක්ශා කරගැනීමට “යකඩ ගුහාවක්” නිර්මාණය කල බව කියැවෙන අතීත කථාව මුල්කර ගනිමින් යුදෙව්වන් මේ “යකඩ ගුහාව” ඒහෙමත් නැතිනම් මේ අයන් ඩෝම් නම් ආරක්ෂක පද්ධතිය නිපදවන්නේ 2005 වසරේදී. දිගින් දිගටම සිදුකරපු පරීක්ෂණ කටයුතු වලින් පස්සේ 2011 වසරේදී මේ ආරක්ෂක පද්ධතිය ඊශ්‍රායලයේ ස්ථාපිත කරනවා.

ඊශ්‍රායලයේ Rafael Advanced Defense Systems සහ Israel Aerospace Industries සමාගම් දෙකෙහි නිර්මාණයක් වන මේ පද්ධතිය, C-RAM ආරක්ෂක පද්ධතියක් ලෙස වර්ග කර තිබෙනවා. ඒ කියන්නේ Counter- Rocket, Artillery and Mortar (C-RAM) ඒහෙම නැත්නම් රොකට්, කාලතුවක්කු සහ මෝටාර් නාශක ආරක්ෂක පද්ධතියක් විදිහටත් මීට අමතරව හෙලිකොප්ටර් යානා සහ නියමුවන් රහිත ගුවන් යානා නාශක පද්ධතියක් ලෙසත් මෙය ක්‍රියා කරනවා.

කි.මී 4 සිට කි.මී 70ක් තරම් දුරක සිට එන කාලතුවක්කු, රෝකට් හෝ මොටාර් ප්‍රහාර මේ පද්ධතිය මඟින් ඉතුම කෙටි කාලයක් තුල හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවක් මේ පද්ධතිය සතුව තිබෙනවා. සාමාන්‍යයෙන් සෑම දිනකම පාහේ ඊශ්‍රායලය දෙසට මෙවැනි රොකට් ප්‍රහාර කිහිපයක් ම එල්ල වන අතර 2014 වසරේ අගෝස්තු මාසයේ දී පමණක් රොකට් ප්‍රහාර 4500ක් පමණ ඊශ්‍රායලයට ඒල්ලවී තිබෙනවා. ඒවායින් 90%කටම වඩා සාර්ථකව විනාශ කරන්නට මේ අයන් ඩෝම් පද්ධතිය සමත්ව තිබෙනවා. ඒ නිසා මේ ආරක්ෂක පද්ධතිය ලොව කාර්ය බහුල ම C-RAM ආරක්ෂක පද්ධතියක් ලෙසයි සැලකෙන්නේ.

මේ ආරක්ෂක පද්ධතිය කොටස් 3කින් සමන්විත යි. රේඩාර් පද්ධතියක්, රොකට් නාශක මිසයිල පද්ධතියක් සහ  මෙහෙයුම් පාලක මධ්‍යස්ථානයක් එම පද්ධතියට අයත් වෙනවා.  මේ පද්ධතියේ භාවිතා කෙරෙන්නේ Tamir නම් ඊශ්‍රායලයේ ම නිෂ්පාදිත මිසයිල වර්ගයයි. මෙවැනි ආරක්ෂක පද්ධති 10ක් මේ වන විට ඊශ්‍රායලය පුරාවට ස්ථානගත කොට තිබෙනවා. ඉදිරි කාලයේදී මේ ආරක්ෂක පද්ධතියේ දුර පරාසය වැඩි කිරීම පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. අසර්බයිජානය, ඉන්දියාව, රුමේනියාව, ඇමරිකා ඒක්සත් ජනපදය සහ දකුණු කොරියාව දැනටමත් මේ ආරක්ෂක පද්ධති මිලදී අරන්..

කොහොම වුණත් මේ ප්‍රබල අයන් ඩෝම් පද්ධතිය ස්ථාපිත කරපු 2011 අවුරුද්දේ දීම මෙහි නිෂ්පාදන සමාගම් වල අධි ආරක්ෂිත පරිගණක ජාලයට හැකර් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ හැකර් ප්‍රහාරයේදී මේ ආරක්ෂක පද්ධතිය පිළිබඳ අතිශය වැදගත් රහස්‍ය තොරතුරු විශාල ප්‍රමාණයක් කාටත් නොදැනෙන්න කොපි කරගන්න මේ හැකර්ලා සමත් වෙනවා. මේ හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් පසුව සිදුකල පරීක්ෂණ වලදී හෙලි වුණේ මේ හැකර් ප්‍රහාරය සිදුකලේ චීනයෙන් බවයි. චීන රජය මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කලත් වර්තමානයේ ලොව ප්‍රබලතම සයිබර් හමුදාවක් සිටින චීනයේ ඒ කතාව පිළිගන්න කවුරුත් ලෑස්ති නැහැ. මේ හැකර් ප්‍රහාරයත් ඒක්ක කොයි මොහොතක හෝ අයන් ඩෝම් ආරක්ෂක පද්ධතිය අවුල් කර දමන්න හැකර්ස්ලාට පුලුවන් වේවි යැයි යුධ විශේශඥයින් අනතුරු අඟවා තිබෙනවා.

මේ අයන් ඩෝම් ආරක්ෂක පද්ධතිය කියන්නේ මොකද්ද කියලාත් එහි ප්‍රබලත්වයත් එයට ඇති හැකියාවනුත් පිළිබඳව දැන් ඔබ දන්නවා. නමුත් ලෝකයේ ප්‍රබලතම ගුවන් ආරක්ෂක පද්ධතියට හිමිකම් කියන්නේ රුසියාව බව ඔබ දන්නවාද? ඒ කිරුළ දරන්නේ රුසියාවේ නිෂ්පාදිත S-400 ගුවන් ආරක්ෂක පද්ධතියයි. 

මේ තියෙන්නේ රුසියානු S 400 ආරක්ෂක පද්ධතියක්

(චතුර සිල්වා) 

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 19:36