April 27, 2024

පැඳුරෙන් මන්දිරයට ආ වීරයෝ

December 07, 2014
ජේ.කේ. රෝලින්
හැරි ‍පොටර් කථාමාලාවේ රචිකාවිය වන බ්‍රිතාන්‍ය ජාතික ජේ.කේ. රෝලින් තම ජීවිතය දුක් කරදර රැසක් මැද ගෙවා දැමූ අයෙකි. ඇය කිහිප විටක්ම සියදිවි හානිකර ගැනීමට පවා පෙළඹී තිබුණ බවද වාර්තාවෙයි. දැඩි මානසික ආතතියකින් පෙළෙමින් නොමැරී ජීවත් වුණ බව පසු කලෙක ඇය පැවසුවාය. හැරි‍පොටර් නවකතාව රචනා කිරීම නිසා ජනප්‍රියත්වයෙන් මෙන්ම ධනවත් බවින්ද ඉහළටම ගිය කාන්තාවක් බවට රෝලින් පත්විය. හැරි ‍පොටර් නවකතාව ලොව පුරාම මිලියන 400ක පිටපත් ප්‍රමාණයක් අලෙවි වූ බව සඳහන් වන අතර 2010 වසරේදී රෝලින් බ්‍රිතාන්‍යයේ බලවත්ම කාන්තාව ලෙසද නම්කරනු ලැබිණි.
 
ජිම් කැරේ
ජනප්‍රිය නළු ජිම් කැරේ තම අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර ගොඩනැගිලි පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කරමින් තම පවුලට අත්වැලක් සැපයුවේ ඔවුන් ඒ වන විට දැඩි දිළිඳු තත්ත්වයක සිටි බැවිනි. පාසල් සමයේ පවු‍ලේ සාමාජිකයින් සමග වෑන් රියක ජීවත්වීමට තරම් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය පහත බැස තිබිණි. වර්තමානයේදී හොලිවුඩ් පුරයේ ධනවත් නළුවන් අතර මුල් පෙළේ සිටින ජිම් කැරේ හාස්‍ය රංගනයන් සඳහා වඩාත් ප්‍රකටය.
 
ඔප්රා වින්ෆේ‍ර්
කාලීන රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීම නිසා සම්මානයට පාත්‍ර වූ ඔප්රා වින්ෆේ‍ර් ඉපදුනේ මිසිසිපි ප්‍රාන්තයේ කුඩා ගම්මානයකය. ඇය කුඩා කල නිවෙස්වල මෙහෙකාරියක ලෙස මෙන්ම ගල් අඟුරු පතල්වල කම්කරුවෙකු ලෙසද සේවය කොට තිබුණාය. තම වයසට ඔරොත්තු නොදෙන තරම් බර වැඩ කරන විට ඇගේ වයස අවුරුදු නමයක් විය. තම ළමා වියවත් නිසියාකාරව ගත කිරීමට වරම් නොලැබුණත් ඇය අධ්‍යාපනය ලබන අතර තුර ගුවන් විදුලි නාලිකාවකට සම්බන්ධව සේවය කළාය. හදවතට දැනෙන ආකාරයට කතා කිරීමට තිබූ හැකියාව නිසාම වින්ෆේ‍ර් ‘ඔප්රා ෂෝ’ නම් රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කිරීම තුළින් විශාල ජනප්‍රියත්වයක් මෙන්ම විශාල මුදලක්ද ලැබිමට සමත් වූවාය. වර්තමානයේ ලොව ධනවත්ම කාන්තාවන් අතර ඇය පෙරමුණේ වෙයි.
 
ඩැනියෙල් කේ‍ර්ග්
ජේම්ස් බොන්ඩ් චිත්‍රපට තුළින් ජනප්‍රිය වූ බ්‍රිතාන්‍ය නළු ඩැනියෙල් කේ‍ර්ග් තරුණ වියේදී රැය පහන් කිරීමට තැනක් නොමැතිව යහළුවන්ගේ කවිච්චි හා උද්‍යානවල බංකු මත රැය ගෙවා තිබුණි. අද ඔහු හොලිවුඩයේ ඉහළ පෙළේ නළුවෙකු මෙන්ම ඉතා ධනවත් නළුවෙකුද වෙයි.
 
චාලි චැප්ලින්
වයස අවුරුදු දහයක් වන විට පියා මියගිය බැවින් චාලි චැප්ලින්ට ඔහුගේ ගමන්මග තනිවම යාමට සිදුවිය. චාලිගේ දෙමාපියන් සංදර්ශන වේදිකා කටයුතුවලට මුල සිටම සහභාගි දෙපළකි. පියා මියගිය පසු මව මානසික ආබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීම නිසා චාලිට හා ඔහුගේ සොයුරාට තම ජීවිත තනිවම ඉදිරියට ගෙනයාමට සිදුවිය. පසු කලෙක විකට නළුවෙකු ලෙස මහත් ජනප්‍රියත්වයක් ලබාගැනීමට හා ධන සම්භාරයක් ඉපැයීමට චාලි චැප්ලින් සමත් වූවේය.
 
ධිිරුබායි අම්බානි
ධිරජ්ලාල් හිරාචාන්ද් අම්බානි ඉන්දියානු ජාතිකයෙකි. ධිරුබායි ප්‍රථමයෙන්ම ‘යේමනයේ’ රැකියාවක් කොට ඇති අතර පසුව තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගැනීමට මුම්බායි නගරයට පැමිණියේය. එහිදී ඔහු කුළුබඩු වෙළෙන්දෙක් ලෙස ජීවිකාව කරමින් තම පවුල නඩත්තු කළ බව සඳහන් වෙයි.
ධිරුබායි දැන් ජීවතුන් අතර නැතත් අද වන විට ඩොලර් බිලියන හැටක වත්කමකට හිමිකම් කියමින් ලොව ‍පොහොසත්ම පවුල් අතරින් දෙවන ස්ථානයේ වැජඹෙන්නේ ධිරුබායිගේ අම්බානි පවුලයි.
 
රජ්නි කාන්ත්
දකුණු ඉන්දියාවේ ජනප්‍රියම නළුවා වන රජ්නි කාන්ත්ගේ සැබෑ නම වන්නේ ශිවාජි රාඕ ගයික්වඩ්ය. කුඩා කල ඉතාමත් දිළිඳු ජීවිතයක් ගත කළ ඔහු මුල් කාලයේ මුට්ට කර ගසන නාටාමි කෙනෙකු වශයෙන් හා බස් කොන්දොස්තරවරයෙක් වශයෙන් තම ජීවිකාව ගෙන ගියේය. වර්තමානයේදී සිනමා රසිකයින් අතර දේවත්වයෙන් පිදුම් ලබන නළුවෙකු වන ඔහු ඉතාම ධනවත් පුද්ගලයෙකුද වෙයි.
 
ජොනි වෝකර්
නම ඇසූ පමණින් බොහෝ දෙනෙකුට සිහිවන්නේ ඔහුගේ විනෝදාත්මක රංගනයය. “මේරේ හෙබුබ්, සී.අයි.ඩී., චෝරිචෝරි ආදී චිත්‍රපට තුළින් ලොව පුරා රසිකයින්ගේ සිත් ඇද බැඳ තබාගැනීමට ඔහු සමත්විය. ‘බදුර්දින් ජමලුදිර් කසී’ යන්න ඔහුගේ මුල් නම වුවත් බොහෝ දෙනෙක් ඔහුව හඳුනන්නේ ජොනි වෝකර් නමිනි. දරුවන් දහදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා ලෙස උපත ලැබූ ඔහු තම පවුල නඩත්තු කිරීම සඳහා රසකැවිලි, එළවළු වර්ග මෙන්ම වෙනත් පාරිභෝගික භාණ්ඩ අලෙවි කරමින් තැනින් තැන සැරිසැරූ වෙළෙන්දෙක් ලෙස මුල් කාලයේ තම ජීවිකාව ගෙනගිය බව කියැවෙයි. පසු කලෙක හින්දි සිනමාවේ ජනප්‍රියතම හා ධනවත්ව නළුවෙකු වන්නට ඔහුට හැකිවිය.
Rate this item
(2 votes)
Last modified on Tuesday, 09 December 2014 12:12