May 07, 2024

"ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් හරිම හොඳයි" - මෙරට රැදි සිටින යුක්රේන් හා රුසියානු ජාතිකයින් සංවේදී වෙමින් කියයි

February 28, 2022

අපිට යුද්ධය එපා මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කරන ලෙස පුටින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යැයි උණවටුන සංචාරක කලාපයේ රැදි සිටින යුක්රේන හා රුසියානු ජාතිකයින් පවසනවා.

යුධ ගැටුම නිසා උණවටුන සංචාරක කලාපයේ රැදි සිටින යුක්රේන් ජාතිකයින් මෙන්ම රුසියානුවන් මානසික වශයෙන් දැඩි පිඩනයට ලක්ව සිටිනවා.

යුක්රේනයේ ඇවිලෙන යුධ ගිණිදැල් නිසා මෙරටට පැමිණි යුක්රේන් ජාතිකයින්ට සිය රටට යාමට පවා නොහැකි වී තිබෙනවා.

උණවටුන රිදිවිලා හෝටලයේ රැදි සිටින යුක්රේන් ජාතික එස් ජෝර්ජ් ඒෂියන් මිරර් අපිට හමු වුණා.

ඔහු එරට බැංකු නිලධාරියෙක්.

"යුක්රේනයේ අපි පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයටත්   රුසියානු හමුදාව ප්‍රහාර එල්ලකොට තියෙනවා. මගේ දු දරුවන්, හිතවතුන්, මිතුරන් මේ නිසා දැඩි අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ. මගේ එක් දියණියක් රුසියාවේ මොසකව් නගරයේ ජිවත්වෙනවා. මා යුක්රේන් ජාතිකයකු වුවත් මගේ බිරිද රුසියානු ජාතික කාන්තාවක්. මට රටවල් දෙකම එකයි. මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කරන්න කියා පුටින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මගේ බැංකු ගිණුමෙන් මුදල් ගන්න බැහැ. සියල්ල නතර කරලා. නමුත් මා රැදි සිටින හෝටලයේ හොටල් හිමියා විසින් අපිට නොමිලේ කෑම බීම ලබා දෙනවා. ඒ ගැන අපිට ගොඩක් සතුටුයි."

රුසියාවේ නිතිඥවරියක් වන එස්. ඩයරියා මහත්මිය මෙසේ පවසා සිටියා,

"මා රැදිසිටින හෝටලයේ යුක්රේන් ජාතිකයින් ද රැදි  සිටිනවා. නමුත් අපි අතර කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි ඉතා සහෝදරත්වයෙන් කටයුතු කරනවා. පසුගිය නොවැම්බර් මාසයේ තමයි මම ලංකාවට ආවේ.  රුසියානුවන්ට හා යුක්රේන් ජාතිකයින්ට යුද්ධය අවශ්‍ය නැහැ. පුටින් ජනාධිපතිතුමාට තමයි යුද්ධය අවශ්‍ය වෙලා තියෙන්නේ. යුධ ගැටුම නිසා ඇතැම් යුක්රේන් ජාතිකයින් රුසියානුවන් සමග අමනාපයෙන් ඉන්නේ. ඒක හොද තත්වයක් නෙවෙයි. ඔවුන් මානසික වශයෙන් දැඩි කම්පනයට ලක්වෙලා. අපිට අවශ්‍ය සාමය. අපිට යුද්ධය  එපා. මේ අවස්ථාවේ ශ්‍රි ලාංකිකයින් අපිට හොදින් සලකනවා. ඒ ගැන ගොඩක් සතුටුයි."

එම්. ඇඩෝනා යුක්රේන් ජාතික කාන්තාවක්.

ඇය  යුක්රේනයේ ගුරුවරියක් ලෙස සේවය කරනවා.

යුධ ගිණිදැල් නිසා ඇය මානසික වශයෙන් දැඩි පිඩනයට ලක්ව සිටිනවා.

"මගේ පවුලේ සාමාජිකයින් පදිංචි වෙලා ඉන්න නගරයටත් ප්‍රහාර එල්ල වෙනවා. ඔවුන් එම ප්‍රහාරවලින් බේරිම සදහා පොළව යට බංකරවලට වෙලා ඉන්නවා.  යුද්ධය නිසා මගේ රටවැසියන් දැඩි අසරණ තත්වයට ලක්වෙලා ඉන්නේ. යුද්ධය නතර කළ යුතුයි. මගේ රටට ආපසු කෙදිනක යාමට පුළුවන් වෙයිද? මුදල් ගන්න බැහැ. සියල්ල නතර කරලා. නමුත් මේ අවස්ථාවේ අපිට උණවටුනේ හෝටල් හිමියන් නොමිලේ කෑම බීම ලබා දෙමින් අපිව රැකබලා ගන්නවා. වීසා කාලය දිර්ඝ කරලා දෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා."

එස් .සේගා යුක්රේන් ජාතිකයෙක්.

ඔහු එරට පුද්ගලික ආයතනයක කළමණාකරුවකු ලෙස සේවය කරනවා.

"මා යුක්රේන් ජාතිකයෙක් මගේ බිරිද රුසියානු ජාතික කාන්තාවක්. අපිට යුද්ධය එපා. යුද්ධය නිසා යුක්රේන් ජාතිකයින් මෙන්ම රුසියානුවන්ද මිය යනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කළ යුතුයි. මේ අවස්ථාවේ ශ්‍රි ලංකිකයින් අපිට ගොඩක් උදව් කරනවා. ශ්‍රි ලංකාව සුන්දර රටක්. අපිව බඩගින්නේ තියන්නේ නැතිව අපිට උදව් කරනවා."

Rate this item
(0 votes)
Last modified on Monday, 28 February 2022 10:16