May 19, 2024

කාර් පර්මිට් එක විකුණා ජනතාවට නවීන සෞඛ්‍ය කාර්යාලයක් ඉදිකර දුන් හාමුදුරුවෝ

February 08, 2022

තම පරම්පරාවෙන් උරුම වූ ඉඩම් කැබැල්ල විකුණා දමා ලබා ගත් මුදලින් තමන් වහන්සේ පැවිදි පිංකම සිදු කිරීම පිළිබඳව කෘතවේදිත්වය දැක්වීම පිණිස කෝටි දෙකකට අධික තම පෞද්ගලික ධනය වියදම් කර ගොඩනැගිල්ලක් තනවා මෑණියන්ගේම ගමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහා පරිත්‍යාග කිරීමට කටයුතු කළ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් පිළිබඳ ඒෂියන් මිරර් වෙත තොරතුරු වාර්තා වෙනවා.

පහසුකම් නොමැතිකමින් තැනින් තැනට ගෙන යන හෝමාගම මැතිවරණ කොට්ටාශයේ කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට මේ නිසා සම්මන්ත්‍රණ ශාලාවක් සහ නවීන පන්නයේ දෙමහල් මන්දිරයක් හිමි වී තිබෙනවා.

මේ උතුම් පරිත්‍යාග කර තිබෙන්නේ පන්නිපිටිය බ්‍රාහ්මණගම දූව පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති, ජාතික අධ්‍යාපන ආයතනයේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මාඹුල්ගොඩ සුමනරතන කොළඹ නව කේරලයේ හා නව තොටමුණේ උප ප්‍රධාන සංඝ නායක හිමිපාණන් වහන්සේයි.

තම පරිත්‍යාගන් පිලිබද උන්වහන්සේ මෙලෙස අදහස් පළ කර තිබුණා.

"මගේ මව රොසලින් ජයකොඩි. එතුමිය 2004දී මිය ගියා. ඇගේ වියෝවෙන් පස්සේ පුංච් අම්මා මට කිව්වා අම්මාට ඇගේ පියා විසින් දෙන ලද ඉඩම් කැබැල්ලක් විකුණා ගත් රුපියල් 5000/= ක මුදලෙන් තමා මගේ මහණ පිංකම කළේ කියලා. මගේ මෑණියන් මේ බවක් මා සමග පවසා තිබුණේ නෑ. එය  අසා මම ඉමහත් සතුටට පත්වුණා. ඒ වගේම එදා මම අධිෂ්ඨාන කරගත්තා මව්තුමිය ඒ කළ කැපකිරීමට මම කුමක් හෝ පරිත්‍යාගයක් සමාජයට කරනවා කියලා. එදා සිට මගේ වැටුප මම අරමුදලකට බැර කලා. මට කියලා බැංකු ගිණුමක්වත් මම ආරම්භ කළේ නෑ. නියෝජ්‍ය අධ්‍යක්ශ ජෙනරාල් හැටියට මට ලැබුණු තීරු බදු රහිත මෝටර් රථ බලපත්‍රය විකුණා ලද රුපියල් ලක්ෂ 96ක මුදලත් විශ්‍රාම ගත් පසු අර්ථ සාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් ලැබුණු මුදලුත් විදේශ සංචාරවලදී ලැබුණු මුදලුත් ඒ ගිණුමට බැර කළා. ඒ අනුව මට මේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය වූ මිලියන 22 ක මුදල හදා ගැනීමට පුළුවන් වුණා."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 February 2022 07:55