April 27, 2024

අතුරුදහන් ගැහැණුන් ඇත්නම් 'බොකෝ හරාම්' යුධ පෙරමුණේ

නයිජීරියාවෙන් ලැබෙන නවතම තොරතුරු සඳහන් කර ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදයට සම්බන්ධ බොකෝ හරාම් ත්‍රස්තවාදීහු ඔවුන් විසින් පැහැරගෙන ගොස් සිටින කාන්තාවන් යුද පෙරමුණට යොදවා ඇති බවය. එම කල්ලිය පැහැරගත් මෙම කාන්තාවන් සටන් වැදී සිටින පිරිස් සමග සටන්වලට මේ වන විටත් යොදා තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.
 
බොකෝ හරාම් ත්‍රස්තවාදීහු වසර 2009 නයිජීරියාවේ රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමෙන් පසු මේ වනතෙක් පැහැරගෙන ගොස් ඇති කාන්තාවන් සහ පාසල් සිසුවියන් ගණන 500 ඉක්මවා තිබෙන බවත් එම වාර්තාවල සඳහන් කර තිබේ.
 
මෙම ත්‍රස්තවාදීහු පසුගිය වසරේ මැයි මස සිට කාන්තාවන් පැහැරගැනීම නිරතුරුව සිදුකරමින් සිටියි. මොවුන් මෙම ක්‍රියාවලිය සිදු කිරීමට පියවරගෙන තිබි ඇත්තේ එරට රජය බොකෝ හරාම් ත්‍රස්තවාදීහු පාලනයට යටත් වූ ප්‍රාන්ත තුනකට හදිසි නීතිය ප්‍රකාශ කිරීමත් සමගය. බොකෝ හරාම් ත්‍රස්තවාදීන් වැඩි වශයෙන් ක්‍රියාත්මකව සිට ඇත්තේ යෝබේ, බොනෝ සහ අඩමාවා යන ප්‍රාන්තවල බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.
 
බොකෝ හරාම් විසින් පැහැරගෙන ගොස් සිටින කාන්තාවන්ට සිදුවී තිබෙන අවදානම හෙළිවී ඇත්තේ පසුගිය අප්‍රේල් මස පාසල් නේවාසිකාගාරයකින් පැහැරගත් සිසුවියන් තිදෙනකු අත්අඩංගුවෙන් මිදී පැමිණ කළ ප්‍රකාශයන් තුළිනි.
 
ඔවුන් ප්‍රකාශ කර ඇති අන්දමට නිදහස සොයා යාමට තැත් කළහොත් වෙඩි තබා ඝාතනයට ලක් කරන බවත් ඒ හේතුවෙන්ම එම කාන්තාවන් ජීවිතය බේරා ගැනීමේ අරමුණින් සිට ඉතා අවදානම් ජීවිතයක් ගත කරන බව පහදා දී තිබේ.
 
නිව්යෝර්ක්හි පිහිටි සංවිධානයක් පෙන්වා දී ඇත්තේ වසර 2013 මැයි මස සිට මේ වන විට බොකෝ හරාම් ත්‍රස්තවාදීහු ප්‍රහාරයන් 192 ක් සිදුකර තිබෙන බවත් ඒ හේතුවෙන්ම සිවිල් වැසියන් 4000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය. මෙම වසරේ පමණක් සිවිල් වැසියන් 2053 දෙනකු බොකෝ හරාම් ත්‍රස්තවාදීහු ඝාතනය කර ඇති බවත් වාර්තා වී තිබේ.
 
හියුමන් රයිට්ස් වොච් වාර්තාවක සඳහන්ව ඇත්තේ අවුරුදු 19 ක් වයසැති තරුණියක් මාස තුනක කාලයක් රඳවාගෙන තිබූ බවත් බොකෝ හරාම් ත්‍රස්තවාදීහු විසින් පැහැරගෙන එනු ලැබූවකු පිහියෙන් ඇන ඝාතනය කරන ලෙස අණදුන් බවය. තමාට එය සිදුකිරීම අපහසු බව පැවසූ විට එම කඳවුරේ ප්‍රධානියාගේ බිරිඳ පිහිය තමාගෙන් උදුරා ඝාතනය සිදුකළ බව ඈ පවසා ඇත.
 
එක් සටනක් සඳහා තමා රැගෙන ගොස් ඇත්තේ සටන් වැදී සිටින්නන්ට ආයුධ සැපයීමට බවද ඈ පවසා තිබේ. මේ අවස්ථාවේදී  හමුදාවන් පැමිණීමත් සමග ඔවුන් පලාගොස් ඇත්තේ තමාද කැටුව බව ඈ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
බොකෝ හරාම් අත්අඩංගුවෙන් මිදී හෝ නිදහස ලැබූ කාන්තාවන් 30 කට අධික ප්‍රමාණයක් එම සංවිධානය හමුවීමෙන් පසුව මෙම වාර්තාව සකසා ඇති බව ප්‍රකාශ වී තිබේ.
Rate this item
(0 votes)