April 26, 2024

තාත්තාගෙන් 'කිරි බොන' ජෝර්ජ් කුමාරයා

ප්‍රසිද්ධියේ දැක ගැනීමට වැඩි අවස්ථාවක් නොලැබුණත් බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් කුමරුට හිමිව ඇති ජනප්‍රියත්වය ඔහුගේ දෙමාපියන් වන විලියම් කුමරු හා කේට් කුමරියට ලැබි ඇති ජනප්‍රියත්වයට දෙවැනි වන්නේ නැත. මේ නිසාම ඔහු ගැන පළවන මොනයම් තොරතුරකට වුවද ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරය. මෙම ලිපියෙන් ගෙනෙන්නේ තවමත් මාස නවයක් වයසැති රාජකීය බිලිඳා පිළිබඳ වැඩිදෙනෙක් නොදත් තොරතුරු ටිකකි.
 
ජෝර්ජ්ගේ ප්‍රියතම සුරතලා
ඕස්ට්‍රේලියාවේ දැකගත හැකි සත්ව විශේෂයක් වන වොම්බැට් සතුන්ට කුමරු දක්වන අසීමිත කැමැත්ත කාටත් දැන ගැනීමට හැකි වුණේ පසුගිය කාලයේදී කුමරු සිය දෙමාපියන් සමග ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ නියැලුණු ඔහුගේ පළමු නිල සංචාරයේදීය. එහිදී තරුණියක් විසින් කේට් කුමරියට වොම්බැට් සතුන්පිළිබඳ ලියැවුණු ‍පොතක් තෑගි කළ විට ඇය කියා ඇත්තෙ සිය පුතු වොම්බැට් සතුන්ට දැඩිව ආශා කරන බැවින් ඔහුට මෙම ‍පොත කදිම තෑග්ගක් වනු ඇති බවයි. පුළුන් පිරවූ සෙල්ලම් වොම්බැට් සතෙකුද මෙම සංචාරයේදී කුමරුට තිළිණයක් ලෙස ලැබි තිබිණි.
 
රෑට කිරි ‍පොවන්නේ තාත්තා
තම බිරියට විවේකයක් ලබාදීම සඳහා සිය බිලිඳු පුතුගේ රාත්‍රී කිරි වේල ලබාදීමේ වගකීම භාරගෙන ඇත්තේ විලියම් කුමරුය. කිරි බෝතලය කුමරුට ලබාදී ඔහුව නින්දට යවන්නේ විලියම් කුමරු බව රාජකීය ආරංචි මාර්ග වාර්තා කරයි.කෑගහන්න කැමති ජෝර්ජ්නවසීලන්තයේ ටැරෝන්ගා සත්වෝද්‍යානයේ නියැලුණු සංචාරයට පෙර සිය පුතුගේ ඝෝෂාකාරී හැසිරීම පිළිබඳව ඉඟි කරමින් කේට් කුමරිය කියා සිටියේ ජෝර්ජ්ගේ සද්දබද්ද නිසා සතුන් බිය වනු ඇති බවට තමන් අසහනයෙන් පසුවන බවයි. මහා හඩින් ශබ්ද කිරීමට මෙන්ම ඝෝෂාකාරී ශබ්ද ඇති කරන ඕනෑම දෙයකට කුමරු ප්‍රිය කරන බව කේට් කුමරිය නොයෙක් වර කියා තිබේ.
 
නිදි නැති කුමාරයා
ජෝර්ජ් කුමරු ඉපදී මුල් මාස පහක කාලයේදී රාත්‍රීන් බොහෝමයක් නිදි වර්ජිතව ගත කිරීමට කේට් කුමරියට හා විලියම් කුමරුට සිදුව තිබුණේ ජෝර්ජ් රාත්‍රියේදී අවදිව සිටීමට වැඩි කැමැත්තක් දැක්වූ නිසයි.
 
රජකමට සූදානම් වෙනවාද?
සම වයසේ බිලිඳුන් සමූහයක් සමග කණ්ඩායමක් ලෙස සෙල්ලම් කිරීම පිළිබඳව ජෝර්ජ්ට තවමත් හරිහැටි අවබෝධයක් හෝ පළපුරුද්දක් නැති බව කියැවෙයි. බිලිඳුන් සමූහයක් අතර සිටියදී වුවද තමාට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගැනීමටත්, පාලනය සියතට ගැනීමටත්, කැමති ජෝර්ජ් ඒ කිසිදු විටක තමාට බාධා කරනවාට කැමති නැත. තවමත් තම වයසේ යහළු යෙහෙළියන් විශාල වශයෙන් ඇසුරු කිරීමට කුමරුට අවස්ථාවක් ලැබි නොතිබිම මීට හේතුවිය හැක.
 
කෑමට ප්‍රිය ජෝර්ජ් වෙනත් බොහෝ කුඩා ළමුන්ට කෑම කවා ගැනීම දෙමව්පියන්ට යුද්ධයක් වුවත් විලියම් කුමරුට හා කේට් කුමරියට නම් ජෝර්ජ්ට කෑම කැවීම ප්‍රශ්නයක් වී නැති බවයි කියැවෙන්නේ. සිය පුතු කෑමට ප්‍රිය බව කේට් කුමරිය නොයෙක් වර කියා ඇති අතර ඔහුගේ ප්‍රියතම ආහාර වර්ග පිළියෙළ කිරීමට විලියම් කුමරුද සහය වන බව කියැවේ.
ඇල්ලුවොත් ඇල්ලුවාම තමයි
ඉතා ශක්තිමත් දරුවෙකු බව කියැවෙන ජෝර්ජ් යමක් අල්ලා ගත් විට එය ලෙහෙසියෙන් අතහැරීමට කැමති නැත්තෙකි. ටැරොන්ගා සත්වෝද්‍යානයේදී බිල්බි සත්වයෙකු කුමරුගේ සමීපයට ගෙනැවිත් දීමට උත්සාහ කළ සත්වෝද්‍යාන සේවකයෙකු වළක්වමින් කේට් කුමරිය කියා සිටියේ ජෝර්ජ් යමක් ඩැහැ ගත්තොත් එය ආපසු ලබාගැනීම ලෙහෙසි නොවන බවයි.
 
දිගු සංචාරවල නියැළීමට අකමැතිය
ඕනෑම අවස්ථාවකදී සිය මවගේ මුව සරසන සුන්දර සිනහව පුරුදු වීමට තවමත් ජෝර්ජ්ට හැකිවී නැත. විශේෂයෙන්ම දිගු සංචාරවල හෝ ගුවන්ගමන්වල නියැළීමට සිදුවූ විට නොඉවසිලිමත්ව මුහුණ පුම්බාගන්නා ජෝර්ජ්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේද ප්‍රකටව තිබිණි. දිගු වේලාවක් ගුවන් යානාවල ගමන් කිරීමට සිදුවූ විට සිය පුතු කෝපයට පත්වන බව කේට් කුමරිය කියයි.
 
වයසට වඩා වැඩ
සම වයසේ සෙසු දරුවන්ට වඩා ජෝර්ජ් හැකියාවෙන් හා දක්ෂතාවෙන් මුහුකුරා ගොස් ඇති බව කියන්නේ ඔහුව හමුවීමේ අවස්ථාව ලද දෙමාපියන්මය. දණගාමින් ඇවිදීමට උත්සාහ දැරීමට ජෝර්ජ් සමත්කම් දැක්වූයේ වයස මාස නවයක් වීමටත් පෙරමය.
 
Rate this item
(0 votes)