May 20, 2024

"දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කවදාවත් ඒ දරුවාගේ වගකීමෙන් මිදෙන්නේ නැහැ" - ප්‍රවීණ නිලි දමිතා අබේරත්න

දමිතා අබේරත්න කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කලා නිර්මාණ ගොන්නකින් ප්‍රේක්ෂක හදවතේ ලැඟුම් ගන්නට සමත් මේ අති දක්ෂ රංගන ශිල්පිනිය සරසවිය සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, සිග්නීස් සම්මාන, සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන ඇතුළු ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන උලෙළවලදී හොඳම නිළිය ඇතුළු සම්මාන ගොන්නකට හිමිකම් කියන්නියක්. 2004 වසරේදී “සුළං කිරිල්ලී” සිනමා පටයේ පෑ රංග ප්‍රතිභාව උදෙසා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නට පවා ඇයට වාසනාව හිමිවුණා. ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කවදාවත් ඒ දරුවාගේ වගකීමෙන් මිදෙන්නේ නැහැ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මගේ අම්මා අදටත් මං එක්ක ඉන්න විදිහ මම දන්නවා. ඒ දරුවා කොයිතරම් ලොකු වුණත් අම්මා ඒ වගකීම අත්හරින්නේ නැහැ මැරෙනතුරාවට. මටත් කාලෙකට පසුව එහෙම අම්මා කෙනෙකුගේ චරිතයක් නිරූපණය කරන්න “වලවෙට්ටුවා” ටෙලිනාට්‍යය ඔස්සේ අවස්ථාව ලැබුණා. මේ කොරෝනා වසංගතයෙන් පසුව මම රඟපාන මුල්ම නිර්මාණය. කාලෙකට පසුව කරපු මේ චරිතයට මට ප්‍රේක්ෂකයන්ගෙන් හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍යවලින් වගේම සැබෑ ජීවිතයේදීත් හමුවෙන කතාබහ කරන අය මේ චරිතය ගැන මට හොඳ කියනවා. මෙතෙක් රඟපෑ චරිත අතර මම කැමතියි “සෙනෙහෙවන්තයෝ”, “අවිඳු අඳුර” ටෙලිනාට්‍යවලට. ඒ වගේම මගේ පළවෙනි ප්‍රධාන චරිත නිරූපණය කරපු “දඬුබස්නාමානය” ටෙලිනාට්‍යයට කැමතියි. ඒ වගේම “සුළං කිරිල්ලි”, “ප්‍රවේගය”, “බඹර වළල්ල” යන චිත්‍රපටවල මම නිරූපණය කරපු චරිතවලට මම කැමතියි. පොදුවේ ගත්තොත් මම රඟපාපු හැම චරිතයකටම කැමතියි.

නළුවෙක් හෝ නිළියක් මැටි පිඩක් වගේ වුණොත් තමයි ඕනේ විදිහකට රූපයක් අඹාගන්න පුළුවන් වෙන්නේ. මැටි ගොඩ අනලා ඕනේම හැඩයකට හදාගන්න පුළුවන්නේ. එහෙම වුණාම අධ්‍යක්ෂවරයාට හරි පහසුයි ඒ රංගන ශිල්පියා හෝ ශිල්පිනියව එයාට ඕන විදියට හසුරවන්න. මම පිටපතක් කියවලා චරිතය ගැන දේවල් මවාගෙන රඟපාන්න ගියොත් මම හිතපු එක නෙවෙයි නම් අධ්‍යක්ෂවරයාට ඒ චරිතයෙන් අවශ්‍ය වෙන්නේ එතකොට ඒ චරිතය අසමත් වෙනවා. මම කියන්නේ හොඳ අධ්‍යක්ෂවරුන් ගැන. ගොඩක් අධ්‍යක්ෂවරු ඉන්නවා නළු නිළියන් හරහා ගොඩයන්න. නළු නිළියො තමයි ඒ චරිත උලුප්පලා, ලස්සනට ගොඩනඟලා අධ්‍යක්ෂවරුන්ව ගොඩදාලා තියෙන්නේ. එහෙම අධ්‍යක්ෂවරු කොටසකුත් ඉන්නවා. ඒත් මම කතා කරන්නෙ තමන්ගෙ ඔළුවේ දැක්මක් තියෙන නිර්මාණය ගැන ආකල්පයක් තියෙන අධ්‍යක්ෂවරයෙක්ට ඒ චරිතය මගෙන් මවාගන්න පුළුවන් වෙන්නේ මම මැටි පිඩක් වගේ දර්ශනතලයට ගියොත් තමයි. ඒ නිසා මම දර්ශන තලයට යන්නේ පිටපත නිකන් කියවලා හිස් ඔළුවක් තියාගෙන. ඒ වගේම සමාජයෙන් චරිතයට ගන්න පුළුවන් දේවල් මම ගන්නවා. ඉනෝකා සත්‍යාංගනී අධ්‍යක්ෂණය කරපු “සුළං කිරිල්ලි” චිත්‍රපටය රඟපාද්දි ඉනෝකා අක්කා මාව වෙළෙඳ කලාපයට එක්කන් ගිහින් ඒ දේවල් පෙන්නුවා. මම දකින දේවලින් මම චරිතය ගැන හිතට කොටසක් දාගන්නවා. මම හිතට දාගන්න කොටසයි අධ්‍යක්ෂවරයාට අවශ්‍ය කොටසයි දෙක සම්මිශ්‍රණය වෙන්නේ මම චරිතය නිරූපණය කරන වෙලාවට විතරයි. මේ වගේ විවිධ තලවල චරිත රඟපාන්න ජීවිතයේ අපිට අත්දැකීම් ඕනේ. ඒ දේවල් දැකලා විඳලා මිනිස්සු ආශ්‍රය කරලා තියෙන්න ඕනේ. රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් තමුන්ගේ අත්දැකීම් වගේම දැකපු දේවල් බොහෝමයක් ප්‍රතිනිර්මාණය කරනවා චරිතවලින්. අදටත් මම මේ මහපොළොවට බැහැලා මිනිසුන් ආශ්‍රය කරනවා. ඔවුන්ගේ චරිත නිරීක්ෂණය කරනවා. ඒ චරිත නිරූපණය කරද්දි එක චරිතයක තියෙන ලක්ෂණ නෙවෙයි, ඒ වගේ චරිත ගොඩක තියන ලක්ෂණ එකතු කරනවා රංගනයට. එහෙම එක්කරගන්නේ අධ්‍යක්ෂවරයාට ඕනෑ දේට ඒ දේවල් ගැළපෙනවා නම් පමණයි.

මම කලා නිර්මාණ කීපයක් නිෂ්පාදනය කළා. ඒ වගේම “සසර සරණිය” ටෙලිනාට්‍යයත් අධ්‍යක්ෂණය කළා. “සසර සරණිය” ටෙලි නාට්‍යය තමයි ප්‍රේමසිරි කේමදාස මාස්ටර් අවසානයට සංගීත අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍යය. ඒ තේමා ගීතය ගායනා කරන්නෙ ඉන්දිකා උපමාලි. කේමදාස මාස්ටර් මට සින්දුව හදලා දුන්නා. ඒත් ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නවත් මාස්ටර් ජීවත් වුණේ නැහැ. මට සින්දුව හදලා දීලා මාස්ටර් රෝහල්ගත වුණා. මම භාග්‍යවන්තයි එතුමාව මගේ නිර්මාණයකට සම්බන්ධ කරගන්න ලැබුණු එක ගැන. හොඳම තේමා ගීත නිර්මාණය වෙනුවෙන් සම්මාන උලෙළ කීපයක එතුමාගේ නම යෝජනා වුණා. සසර සරණියේ රඟපෑමට කෝකිල පවන් පුතාට හොඳම ළමා නළුවා වෙනුවෙන් සම්මාන ලැබුණා. ඉන්දිකා උපමාලි හොඳම ගායිකාවට නම් වුණා. ඒ ජයග්‍රහණය ගැන මම අදටත් සතුටු වෙනවා. මං තුළ අධ්‍යක්ෂවරියක් ජීවත් වෙනවා. තව ටික කාලයක් ඉඳලා අධ්‍යක්ෂණයට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා. තව අත්දැකීම් ගොඩක් එකතු කරගෙන දවසක හොඳ නිර්මාණයක් කරනවා. මම කලාවට හරි පෙරේත මනුස්සයෙක්. ඒ වගේම හොඳ කලා නිර්මාණවලටත් ආසයි. මගේ ක්ෂේත්‍රයට හොඳ නිර්මාණ දීලා මැරෙන්න තිබුණොත් මට ඇති.

මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන සාලින්ද රත්නායකගේ අධ්‍යක්ෂණයක් වුණ “පෝර්ක් වීදිය” ටෙලිනාට්‍යයේ මම රඟපානවා. කොරෝනා වසංගතයත් එක්ක අපි දැක්කා ගොඩක් හොඳ වෘත්තීන් කරන අය තමන්ගේ පෞද්ගලික වාහනයේ ඇවිත් පෝර්ක් සහ පොල්‍ රොටි පාර අයිනේ තියාගෙන විකිණුවා. එය ආශ්‍රිතව ගොඩනැඟුණු කතාවක් මේක. ධර්මප්‍රිය ඩයස්ගේ බිරිඳ වන කමනිගේ චරිතය මම රඟපාන්නේ. වයසට ගියත් ආදරයෙන් නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරන භාර්යාවකගේ චරිතයක් ඒක. ඔවුන්ට ප්‍රශ්න මිරිකෙන්න තිබුණත් ඒ ප්‍රශ්න එක්ක සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මීට කලින් මම රඟපාපු තට්ටු දෙකේ ඉස්කෝලේ, කබඩි, හිතුමතේ ජීවිතේ යන චිත්‍රපට තුනම ඕස්ට්‍රේලියාවේ තිරගත වෙනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික රසිකයන්ගෙන් ඒ සඳහාත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 30 July 2021 22:31